සෑම ආගමික සිද්ධස්ථානයකම ශබ්ද පූජා පවත්වමින් හර්තාලය ආරම්භ කරන්න

සෑම ආගමික සිද්ධස්ථානයකම ශබ්ද පූජා පවත්වමින් හර්තාලය ආරම්භ කරන්න

ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවට ඉවත්වන ලෙස බල කරමින් මැයි 06 වැනිදා පැය 24ක හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන මේ වන විට සැලැසුම්කර තිබේ.

ලබන 06 වැනිදා පැවැත්වීමට නියමිත පැය 24ක හර්තාලය, සහ දීප ව්‍යාප්ත ඒකාබද්ධ වැඩ වර්ජනයට පිළිතුරු නොදෙන්නේ නම්, ආණ්ඩුව ගෙදර යන තුරු සිදුකෙරෙන අඛණ්ඩ වර්ජනය සහ අඛණ්ඩ හර්තාලය මැයි 11 සිට ආරම්භ කරන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි.

හර්තාලය සඳහා සහාය පළකර ඇති වෘත්තීය සමිති හ සිවිල් සංවිධාන සංඛ්‍යාව 2000කට අධික ය. සෞඛ්‍ය, ප්‍රවාහන, දුම්රිය, විදුලි, අධ්‍යාපන ඇතුළු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සිය ගණනක් ඊට අයත් වේ.

හර්තාල් දින දුම්රිය නවතියි. නිවාසවලත් කළු කොඩි දමන්නැ යි ඉල්ලීමක්

  • මැයි 06 වැනිදා පැවැත්වෙන හර්තාල් හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයට සහාය පළකරමින් හෙට (මැයි 05) මධ්‍යම රාත්‍රී 12.00 සිට පැය 24ක් දුම්රිය ධාවනයෙන් ඉවත්වන වේ.
  • කඩසාප්පු හා වෙළෙඳසැල් වසා දමා විරෝධතාවයට එක්වන ලෙස වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය ද ඉල්ලා සිටියි.
  • එසේම, සියළු ආගමික සිද්ධස්ථාන වල උදේ 8.30 සිට 9.00 දක්වා ශබ්ද පූජා පවත්වන ලෙසත්,
  • උදේ 8.30 සිට 9.00 දක්වා කාලය තුල, මාර්ගයේ ගමන් කරන වාහන වල නලා හඩ අඛණ්ඩව නාද කරන ලෙසත්,
  • නිවස ඉදිරිපිට කළු කොඩි ඔසවන ලෙසත්,
  • ළගම ඇති මාර්ගයට, නගරයට ඒකරාශී වී, අවශ්‍ය ආහාර මාරගය අසල සාමූහිකව පිළියෙල කරන ලෙසත්,
  • අත්‍යවශ්‍ය සේවා සැපයීමේදී නිළ ඇදුම භාවිතයෙන් වලකින ලෙසත්,
  • හැකිතාක් කළු වර්ණයෙන් සැරසී කටයුතු කරන ලෙසත්, ඉල්ලා සිටින හර්තාල් කමිටුව කිසිසේත්ම නොකලයුතු ඉල්ලීම් දෙකක්ද ඉදිරිපත් කර ඇත.

ඒ අනූව, මහජන දේපලට හානි වන අයුරින් කටයුතු කිරීම සහ ප්‍රචණ්ඩ හැසිරීමකට ඉඩ නොතබන ලෙස වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම-කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා ඉල්ලීමක් කරයි.

"මේ හර්තාලය සාර්ථක වෙනවා කියන්නේ ආණ්ඩුව පන්නන ගමන ඉක්මන් වෙනවා. මේ රටේ ජන අරගලය දිනන එක සහතික වෙනවා," ඔහු ප්‍රකාශ කළේ ය.

අගමැති බිල්ලට දී ආණ්ඩු බලය ආරක්ෂාකර ගැනීමට සූදානමක් පවතින බවද ඔවුන් චෝදනා කරනවා.

"අපි ආණ්ඩුවට කියනවා මේ වැඩ කරන පන්තිය යි, සමස්ත ජනතාව යි එකතුවෙලා කරන මේ ක්‍රියාමාර්ගය තුළ ගෙදර යන්න කියලා. එහෙම ගෙදර නොගියොත් අපි තවත් ක්‍රියාමාර්ග ගණනාවක් ගන්න බලාපොරොත්තු වෙනවා. ලක්ෂයකට වැඩි ජනතාවක් කොළඹට ගේන්න මීළඟ සතියේ අපි බලාපොරොත්තු වෙනවා."

රෝහල් ප්‍රතිකාර සේවාවලට මොකද වෙන්නේ?

වෛද්‍ය නිලධාරීන් හැර සෞඛ්‍ය සේවාවේ සියලු කාර්යයමණ්ඩල මැයි 06 වැනිදා වෙනිදා උදෑසන 7 සිට පැය 24ක් වර්ජනය කිරීමට, එම වෘත්තීය සමිති විසින් ඒකමතික තීන්දුවක් ගෙන තිබේ.

අත්‍යවශ්‍ය හා ජීවිතාරක්ෂණ සේවා සියල්ල සපයනු ලබන අතර, මහජනතාවට වන අපහසුතාවයන් අවම කිරීම සදහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කළේ ය.

අත්‍යවශ්‍ය නොවන සාමාන්‍ය සත්කාර සේවා සදහා එදිනට රෝහල් වෙත නොපැමිණෙන ලෙස  සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සයවැනිදා පෙරවරු 9 සිට සෞඛ්‍ය අමත්‍යාංශය සහ රෝහල් ඉදිරිපිට විරෝධතා පැවැත්වෙන අතර, මෙම හර්තාල් ව්‍යාපාරයේ දී මහජනතාවගේ පොදු දේපළට කිසිදු හානියක් සිදුකිරීම හෝ ප්‍රචණ්ඩත්වය කිසිවිටෙකත් අනුමත නොකරණ බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය අවධාරණය කරයි.

රවී කුමුදේශ්, වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය