ඉතිහාසයේ ප්‍රථම වරට වරාය ඉංජිනේරුවන් සභාපතිට එරෙහිව විරෝධයේ 

ඉතිහාසයේ ප්‍රථම වරට වරාය ඉංජිනේරුවන් සභාපතිට එරෙහිව විරෝධයේ 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය ආයතන ව්‍යූහය සහ බඳවාගැනීමේ පටිපාටිය අත්තනෝමතිකව වෙනස් කරමින් ක්‍රියාකරමින් සිටින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය පවසයි.
 
 මෙම තත්ත්වය පාලනය සඳහා වහා මැදිහත් වන ලෙස එම සංගමය  වරාය හා නාවික අමාත්‍යවරයාගෙන් ලිපියක් මගින් ඉල්ලා තිබේ.
 
නව බඳවාගැනීමේ පටිපාටිය වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කිරීමෙන් තොරව ක්‍රියාත්මක නොකරන බවට හිටපු අමාත්‍යවරයා පොරොන්දු වී තිබියදී වරාය අධිකාරියේ පාලනය නව බඳවාගැනීම් පටිපාටිය ක්‍රියාත්මක කරමින් සිටින බවත්, එම අධ්‍යක්‍ෂ මණ්ඩල තීරණය අහෝසි කර පැරණි ආයතනින ව්‍යූහය ක්‍රියාත්මක කරන ලෙස ලිඛිත මාර්ගෝපදේශයක් දෙන ලෙසත් වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියි.
 
සභාපතිවරයාගේ තීරණයට එරෙහිව වරාය අධිකාරියේ කොට්ඨාස ප්‍රධානින් ඇතුළු අනෙකුත් විධායක නිලධාරීන්ගේ ද අස්සන් සහිත ලිපියක් ද අමාත්‍යවරයාට යොමුකර තිබේ.
 
වරාය අධිකාරියේ ඉංජිනේරු සංගමය විසින් වරාය සභාපති කාර්යාලය ඉදිරියේ ඊයේ (24) විරෝධතාවක නිතර වූ අතර වරාය ඉංජිනේරුවන් විසින් එහි සභාපතිවරයෙකුට එරෙහිව උද්ඝෝෂණයක් පැවත්වූ ඉතිහාසයේ පළමු අවස්ථාව එය බව ද වරාය ඉංජිනේරු සංගමය කීය.