විශ්‍රාමික ලංගම සේවකයින්ට නිදහස් ගමන් පහසුකම් ඉල්ලයි

විශ්‍රාමික ලංගම සේවකයින්ට නිදහස් ගමන් පහසුකම් ඉල්ලයි

විශ්‍රාම ගන්වනු ලබන ශ්‍රී ලංගම සියලුම සේවකයන් හට ඔවුන් සතුව ඇති නිදහස් ගමන් අවසර පත්‍රය දිවි ඇති තෙක් භාවිතා කිරීමට අයිතිය ලබාදීමට කටයුතු කරන ලෙස ඉල්ලා ප්‍රවාහන අමාත්‍යවරයා වෙත ලිපියක් යවමින්  සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ඉල්ලීමක් කර ඇත.

මෙම ඉල්ලීමේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අනාදිමත් කාලයක් ශ්‍රීලංගමය තුල සේවය කර විශ්‍රාම යන සේවකයන් හට ඔවුන් සතුව ඇති නිදහස් ගමන් අවසර පත්‍රය ඔවුන් මිය යන තෙක්ම භාවිතා කිරීමට අයිතිය ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔබතුමාගෙන් අප සංගමය ප්‍රථමයෙන් ඉල්ලා සිටින්නෙමු.

ශ්‍රී ලංගමයට අවුරුදු 50 සම්පූර්ණ වීම පෙරනිමිති කොට ගෙන විශ්‍රාම යන සියලුම ශ්‍රී ලංගම සේවකයන් හට මෙතෙක් පරිහරණය කරන ලද නිදහස් ගමන් අවසර පත්‍රය දිවි ඇතිතෙක් භාවිතා කිරීමට අයිතිය ලබාදෙන ලෙස හිටපු ප්‍රවාහන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගෙන් මගේ අංක:සාලා/ප්‍ර/සේ/ස/79 යටතේ 2008.12.03 වන දින අප සංගමය ලිඛිතව ඉල්ලා ඇත. එම ඉල්ලීම ඩලස් අලහප්පෙරුම මැතිතුමා අනුමත කර අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංගම බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

එවකට ශ්‍රී ලංගමය තුල සිටි අධ්‍යක්‍ෂක මණ්ඩලයේ ඇතැම් අමනෝඥ කුහක නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා එය කල්මරන ලද අතර ප්‍රවාහන ඇමතිතුමාද එම ඇමතිකමින් ඉවත් කරන ලදී. අනතුරුව 2009.08.06 වන දින ශ්‍රී ලංගම ප්‍රධාන කාර්යාලයෙන් මෙම නිදහස් ගමන් අවසර පත්‍රය ලබාදෙන ලෙස චක්‍රලේඛණයක්ද නිකුත් කර ඇත. අදාල ලිපිවල පිටපත් ඔබතුමාගේ අවධානය සඳහා මේ සමඟ අමුණා ඇත.

මේ මොහොතේ බස් ගාස්තු අධික මිල නිසාත් විශ්‍රාම යන ශ්‍රී ලංගම සේවකයන් හට විශ්‍රාම වැටුපක් නොලැබෙන නිසාත් වසර ගණනක් තමන්ගේ කාලය, ශ්‍රමය ශ්‍රී ලංගමයට ඉමහත් බාධක මැද කැපකරන ලද අහිංසක ශ්‍රී ලංගම සේවකයන් හට ඔවුන් විශ්‍රාම යන විට ඔවුන්ගේ නිදහස් ගමන් අවසර පත්‍රය කිසිදු වර්ගීකරණයක් නොකර සියලුම ශ්‍රී ලංගම සේවකයන් හට පරිහරණය කිරීමට ඇති අයිතිය ලබාදීමට මැදිහත් වන ලෙස අප සංගමය ප්‍රවාහන ඇමතිවරයා වන ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.