ප්‍රමාද වී හෝ ඉල්ලා අස්වීමට ගත් තීන්දුව රඟපෑමක් නොවිය යුතුයි

ප්‍රමාද වී හෝ ඉල්ලා අස්වීමට ගත් තීන්දුව රඟපෑමක් නොවිය යුතුයි

ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන් 2022.05.25 දිනැතිව නිකුත් කරන ලද නිළ මාධ්‍ය නිවේදනය හා ඒ අශ්‍රිත ප්‍රකාශ සඳහා ප්‍රතිචාර වශයෙන් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේස් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති, වෛද්‍ය රසිත විජේවන්ත හා එහි ප්‍රධාන විධායක වෛද්‍ය සචින් සේමගේ වෙත ලිපියක් යවමින් ඔවුන්ගේ ඉල්ලා අස්වීම හා ඒ සම්බන්ධ ගැටළු ගැන කරුණු දක්වා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ,

ඒ අනූව මාගේ නමද සඳහන් කරමින් ඔබ දෙපලගේ අත්සන් සහිතව මාධ්‍ය වෙත නිකුත් කරන ලද ලිපිය හා ඒ ආශ්‍රිත ප්‍රකාශයන් හා බැඳේ.

ඖෂධ නියාමන අධිකාරිය පිළිබඳව මා විසින් අදහස් දැක්වීම සිදු කරනු ලබන්නේ ඔබ දෙපල ඖෂධ නියාමන අධිකාරියේ උක්ත තනතුරු වලට පත්වීමට බොහෝ කාලයකට පෙර සිටම වන අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ගැටළුවට ඖෂධ නියාමන අධිකාරිය ප්‍රමාණාත්මකව වග කිව යුතු බව මා තවදුරටත් විශ්වාස කරමි. ඖෂධ නියාමන අධිකාරිය යනු සෞඛ්‍ය අමාත්‍යාංශය තුල ආදායම් ඉපයිය හැකි හා උපයමින් සිටින එකම ආයතනය වන බැවින් එහි සේවාලාභියා වෙත සපයනු ලබන සේවය සාමාන්‍ය රෝහලක් සමඟ, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ ඒ යටතේ වන ආයතනයක් සමඟ සංසන්දනය කිරීම කිසිසේත් ප්‍රමාණවත් නැත.

ඖෂධ නියාමන අධිකාරියේ සේවාලාභීන් තෘප්තිමත් වන ආකාරයට කාර්යක්ෂම සේවාවක් එමඟින් ලබා දීම යනු කිසිසේත්ම බාල ඖෂධ වලට ඉඩදීම හෝ මාෆියාවන්ට යටත් වීම ලෙස අර්ථකථනය කර නොගන්නා ලෙස ඉල්ලා සිටින අතර නිසි තාක්ෂණික මෙවලම් භාවිතා කරමින් කෙටි කාලීනව කාර්යක්ෂම සේවාවක් ලබා දීම සඳහා බොහෝ දූෂීත තත්ත්වයන් වලක්වා ගැනීම අප යෝජනා කරන ක්‍රමවේදයන්ගේ අරමුණ බවද පෙන්වා දෙමි.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනයට වඩා ස්වාධීනත්වයක් ඖෂධ නියාමන අධිකාරියට පැවතීම අවශ්‍යතාවයක් බව අපද පිළිගන්නා අතර සුදුසුකම්, අද්දැකීම් හෝ හැකියාවන් පිළිබඳව කිසිඳු ව්‍යුහාත්මක පරීක්ෂාවකින් තොරව පෞද්ගලික හිතවත්කම් මත පමණක් එහි ප්‍රධාන තනතුරු වලට පත් කරනු ලබන ඔබ දෙපල වැනි නිළධාරීන් හරහා එවන් ස්වාධීනත්වයක් ආරක්ෂා කිරීමට හෝ පවත්වා ගැනීමට නොහැකි බව අප දැඩි සේ විශ්වාස කරමු. එනයින් අපගේ විවේචනය ඔබ දෙපල සමඟ පවතින පෞද්ගලික ගැටළුවක් නොවන බව පෙන්වා දෙන අතරම ඖෂධ නියාමන අධිකාරියේ සේවය කරනු ලබන කාර්ය මණ්ඩලයේ කිසිවෙකුගේ කැපවීම අවතක්සේරු කිරීමටද අප කිසිසේත් බලාපොරොත්තු නොවෙමු.

කෙසේ නමුත් ඖෂධ නියාමන අධිකාරියට අදාල චෝදනාවන් පිළිබඳව එහි නියාමකයන් වන ඔබ දෙපල සෘජුවම වගකිව යුතු වන අතර එවන් භාරදූර කාර්යයක් දේශපාලන හිතවත්කම් මත පවරාගත් ඔබ විසින් ගනු ලැබූ තීරණ වල වරද මෙන්ම නිසි කලට නිසි තීරණ නොගනිමින් ඇති කරනු ලැබූ ප්‍රමාදයන් සහ පසුබෑම් හේතුවෙන් රටක් වශයෙන් මුහුණ දීමට සිදුවී ඇති තත්ත්වයන්ටද ඔබ වගකිවයුතු බව මෙහිදී අප අවධාරණය කරමු

ඖෂධ නියාමන අධිකාරීයේ කාර්යයන් අතර ඉතා පූජනීය තත්ත්වයක් ලබා දී ඇත්තේ ඖෂධ වල ගුණාත්මක තත්ත්වය පරීක්ෂා කිරීම හා තහවුරු කිරීමය.

ඖෂධ නියාමන අධිකාරී පනතට අදාලවද ඒ සඳහා රසායනාගාර සාම්පල පරීක්ෂාවක් සිදුවිය යුතු නමුත් මේ වන තුරුත් 90% කට වැඩි අවස්ථාවන් වලදී, ලිපි ගොනු පරීක්ෂාවෙන් පමණක් ඖෂධයේ තත්ත්වය පරීක්ෂා කිරීම හා තහවුරු කිරීම සිදු කරනු ලබයි.

මෙවැනි ක්‍රියාවලියකින් ඖෂධයක සැබෑ තත්ත්වය තහවුරු නොවන නමුත් ලිපි ගොනු පරීක්ෂාව සඳහා පමණක් දීර්ඝ කාලයක් ගත කිරීම මඟින් සහ ඊට විශාල වැය බරක් එකතු කිරීම මඟින් මහජනතාව වෙත නිකුත් කරන ඖෂධයක ගුණාත්මක තත්ත්වය සැබෑ ලෙසම රැකදිය හැකි වන්නේද? එම තත්ත්වය වෙනස් කිරීම සඳහා එහි නියාමකයන් ලෙස ඔබ දෙපලට කිසිඳු සැලසුමක් තිබුනු බවක් පෙනෙන්නට තිබුනේද නැත. එසේම පසුගිය කාලය තුල එම ක්‍රමයට අදාලව පවා නැවත පරීක්ෂා කිරීම් (Re-evaluation) සිදු නොකරමින් ලියාපදිංචි දිගු ලබා දීම හරහා ඖෂධයේ ගුණාත්මක තත්ත්වය ආරක්ෂා කිරීමට ඔබ කැපවූ බව අප පිළිගත යුතු වන්නේද?

තවද, ඔබගේ මාධ්‍ය නිවේදනය අනූවම දේශිය නිෂ්පාදන දිරිගැන්වීම සඳහා පසුගිය මාස දෙක තුල ඔබ විසින් කටයුතු කර ඇති බවත් ඒ යටතේ සිදු කල කටයුතු මොනවාද යන්න බවත් සඳහන් කර ඇති අතර ඖෂධ නියාමන අධිකාරියට පරිභාහිරව කටයතු කරමින් පවා රට තුල ඖෂධ අර්බුධයක් මතුවන ප්‍රකාශ කිරීමටත් ඒ සඳහා දත්ත ඉදිරිපත් කිරීමටත් අපද එකී කාලය තුල සමත් වී තිබියදී, ඖෂධ නියාමන අධිකාරීයේ නියාමක දෙපල ලෙස කටයුතු කල ඔබතුමන් ඒ බව අපට පෙර හඳුනා නොගැනීම හරහා පුරෝකථනයන් හා ඇස්තමේන්තු තුලින් අනාගත ගැටළු සඳහා විසඳුම් සෙවීම, අපේක්ෂිත භාරදූර තනතුරක වගකීම ඉටු කිරීමට කටයුතු කර නොමැති බවත් ඉතා පැහැදිලිය.

තවද දේශීය ඖෂධ නිෂ්පාදකයන් දිරි ගැන්වීම හා දේශීය ඖෂධ නිෂ්පාදනය යථාර්තයක් බවට පත්කීරීම සඳහා රට තුල ඖෂධ අර්බුධයක් ඇතිවිය යුතුමදැයි අප ඔබෙන් ප්‍රශ්ණකර සිටින අතරම එකී නිෂ්පාදනකරුවන් අදාල අනුමැතිය සඳහා ඉල්ලුම් කල දිනය, අනුමැතිය ලබා දුන් දිනය, ඒ අතරතුර ගතවු කාලය හා සිදුවූ ක්‍රියාවලිය කුමක්දැයි වෙන් වෙන් වශයෙන් අධ්‍යයනය කිරීම තුල ඔබ දෙපලගේ නිළ කාලය තුලදී හෝ ඖෂධ නියාමන අධිකාරිය කාර්යක්ෂමව, ඵලදායීව, මහජන හිතසුව පිණිස හෝ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කර ඇති බව හෝ නොමැති බව පැහැදිලි වනු ඇති බවත් අවධාරණය කරමු.

එබැවින් ඖෂධ නියාමන අධිකාරිය කාර්යක්ෂම, ප්‍රායෝගික සහ ස්වාධීන ආයතනයක් ලෙස පරිවර්තනය කර ගැනීම සඳහා අප ඉදිරිපත් කරන කරුණු පෞද්ගලික ගැටළු බවට පරිවර්තනය කර ගැනීම මඟින් ඔබ දෙපලට, අපට හෝ රටට අත්වන වාසියක් නොමැති බවත් මෙම විවේචනයන්ගේ හරය මතු කර ගනිමින් වඩාත් සුදුසු නියාමකයන් දෙපලක් දේශපාලන හිතවත්කමට පමණත් නතු නොවෙන ස්වාධින ක්‍රමවේදයක් හරහා ඖෂධ නියාමන අධිකාරියට පත් කිරීමට ඇති ඉඩ කඩ අහුරා නොදමන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින අතර ඔබ විසින් පසුගිය කාලය තුල ලද අද්දැකීම්ද දායක කර ගනිමින් ඖෂධ නියාමන අධිකාරිය රටේ සෞඛ්‍ය ගැටළුව පිළිබඳව සංවේදී ආයතනයක් බවට පරිවර්තනය කර ගැනීම සඳහා ඔබගේද සහයෝගය ඊට එක් කිරීම මේ මොහොතේ ඔබට පැවරී ඇති වගකීමක් බව අප විශ්වාස කරමු.

අපගේ විචේචනයන් තුල ඔබට හෝ ඖෂධ නියාමන අධිකාරියේ කාර්ය මණ්ඩලයේ කිසිවෙකුට හෝ ඔබගේ ආරක්ෂාව පතා ඉදිරිපත් වූ පාර්ශ්වයන්ට හෝ කිසියම් සිත්තැවුලත් ඇති වූයේ නම් ඒ පිළිබඳව අපි උදක්ම කණගාටු වෙමු.