පරිපාලන නිලධාරී පුරප්පාඩු පුරවයි

පරිපාලන නිලධාරී පුරප්පාඩු පුරවයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින පරිපාලන නිලධාරි පුරප්පාඩු සඳහා සෞඛ්‍ය කළමණාකරණ සහකාර සේවයේ සීමිත පදනමින් අධි ශ්‍රේණියට උසස් කෙරුණු  නිලධාරීන්  23 දෙනෙකු සඳහා රෝහල් ලේකම් (පරිපාලන නිලධාරී) උසස්වීම් ලබාදීම සෞඛ්‍ය අමාත්‍ය  ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අතින් පසුගියදා (03)  සිදු විය.

රාජ්‍ය සෞඛ්‍ය  කළමණාකරණ සහකාර සේවය සංවෘත සේවයක් බවට පත් කිරීමෙන් අනතුරුව සීමිත පදනම මත අධිශ්‍රේණියට උසස්වීම් ලබා ගත් පළමු කණ්ඩායම මෙය වේ.

ශ්‍රී ලංකා ජාතික රෝහල,මහනුවර ජාතික රෝහල ,කුරුණෑගල ,රාගම, අනුරාධපුර යන ශික්ෂණ රෝහල් සඳහා පේරාදෙණිය විශේෂිත ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල යන රෝහල් සඳහා ද,හම්බන්තොට, කුලියාපිටිය, ගම්පොළ ,මොණරාගල යන දිස්ත්‍රික් මහ රෝහල් සඳහාද, මුල්ලේරියාව,කන්තලේ  යන මූලික රෝහල් සඳහා ද , ජාතික  ලේ බැංකුව,මහරගම  දන්තායතනය,ජීව වෛද්‍ය ඉංජිනේරු සේවය යන අංශ සඳහාද සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ පුරප්පාඩුව පැවති පරිපාලන නිලධාරී තනතුරු 03 ක් සඳහා ද මෙම නිලධාරීන් අනුයුක්ත කර ඇත.

new appointment h s large

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය  අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා-

“සෞඛ්‍ය කියන්නේ අතිශය වැදගත් ක්ෂේත්‍රයක්.මහා මාර්ග වැනි අමාත්‍යංශයන්හි කාර්යභාරය තුළ මාර්ග හදන එක  තාවකාලිකව නවත්වන්න පුළුවන්. නමුත් සෞඛ්‍ය ඒ වගේ තැනක් නෙමෙයි.මේ අසීරු කාලයේ විශේෂයෙන්ම සෞඛ්‍ය වැනි ක්ෂේත්‍රයක දැඩි කැපවීමකින් ඔබතුමන්ලා කටයුතු කරන්න ඕනෑ.”

මෙම නව නිලධාරීන් සඳහා  " රාජ්‍ය නිලධාරීන් සඳහා වූ මාර්ගෝපදේශ සංග්‍රහය" නැමැති නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සිරිමල් ලොකුගමගේ මහතා ඇතුළු පරිපාලන ක්ෂේත්‍රයේ නිලධාරීන් විසින් රචිත ග්‍රන්ථයද පිළිගන්වන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත , අතිරේක ලේකම් (පාලන) යූ.එල්.පීරිස්,අධ්‍යක්ෂ (පාලන) 06 එස්. මාතරආරච්චි, රෝහල් ලේකම්වරුන්ගේ සංගමයේ සභාපති හා නිලධාරීන් පිරිසක්ද, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමයේ සභාපති නාමල් ජයසිංහ යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි වූහ.