මෙරට ළමා ශ්‍රමිකයින්ගේ වැඩිවීමක්

මෙරට ළමා ශ්‍රමිකයින්ගේ වැඩිවීමක්
මෙරට ළමා ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.
 
ඔහු කියා සිටියේ පසුගිය කොවිඩ් තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ එලෙස ළමා ශ්‍රමිකයින්ගේ ඉහළ යෑමක් සිදුව ඇති බවට වාර්තාවන බවයි.
 
කෙසේ වෙතත් ඒ පිළිබඳ නිශ්චිත දත්ත ලබාගැනීම සඳහා ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ සහය ඇතිව මෙරට ළමා ශ්‍රමිකයින් පිළිබඳ නව සමීක්ෂණයක් සිදුකිරීමට ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදුන් බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි.
 
ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය අදට යෙදී ඇති අතර, 2002 වසරේ සිට සෑම වසරකම ජූනි මස 12 වනදා එම දිනය සමරනු ලබයි.
 
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ දත්තවලට අනුව 2016 දී මිලියන 152 ක් ව පැවති ලෝක ළමා ශ්‍රමිකයන් සංඛ්‍යාව 2020 වසරේදී මිලියන අටකින් ඉහළ ගොස් තිබේ.
 
ඒ අනුව ලොව පුරා මිලියන 168 ක් ළමා ශ්‍රමිකයින් සිටින බවට දත්ත ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති වැඩිදුරටත් කියා සිටියි.