ප්‍රවේශමෙන් !- ජාතික ලිංගාශ්‍රීත රෝග මර්ධන ව්‍යාපාරය කඩා වැටෙන ලකුණු

hiv-test
  • වෛද්‍ය පරීක්ෂණ සදහා ප්‍රතික්‍රීයක හිඟ වීමෙන්, ඒඩ්ස් ඇතුලු සමාජ රෝග මර්ධනය අනතුරේ !
  • වසර 20ක පමණ සෞඛ්‍ය සේවාවේ මහන්සිය සහ වියදම අපතේ යන ලකුණු !
  • ඒඩ්ස් ඇතුලු සමාජ රෝග ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක ව්‍යාපාරය ඇතුළු රටේ ආර්ථිකයට විශාල පීඩාවක අවධානමක් !

මේ වන විට ඒඩ්ස් රෝග පරීක්ෂාව සදහා අවශ්‍යවන ක්ෂණික පරීක්ෂණ කට්ටල මෙන්ම ELISA පරීක්ෂණ සදහා අවශ්‍ය ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන්, එම රෝග පාලනය සඳහා අත්‍යවශ්‍ය ඇතැම් වැඩසටහන් සම්පූර්ණයෙන්ම නවතා දැමීමටත්, ඇතැම් වැඩ සටහන් සීමා කිරීමට හා ප්‍රමාද කිරීමටත් සිදුව ඇත.

අප කාර්‍යමණ්ඩලයේ වසර ගණනාවක කැපවීම මත, මවගෙන් දරුවාට HIV වෛරසය සම්ප්‍රේෂණ වීම සම්පූර්ණයෙන්ම වැලක්වූ රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෞරවයට පාත්‍ර වූ රටක් වුවද, එම ගෞරවය සාක්ෂාත් කර ගත් පරීක්ෂණ වැඩ සටහන සංකෝචනය කරන ලෙස මේවන විට ප්‍රාදේශීය රසායනාගාර වලට උපදෙස් ලබා දී ඇත. ඒ අනූව පළමු කාර්තුව තුල සියළු ගර්භනී මව්වරුන් සදහා සිදු කරනු ලැබූ HIV පරීක්ෂාව නතර කිරීමට සිදුව ඇත. තවද බොහෝ මර්ධන වැඩසටහන් සීමා කිරීමට සහ නතර කර දැමීමට සිදුව ඇත.

ඊට අමතරව අනෙකුත් සමාජ රෝග තහවුරු කෙරෙන මූලික පරීක්ෂාවක් වන VDRL පරීක්ෂණ සදහාද, HIV තහවුරු කිරීමේ පරීක්ෂාව සදහාද, බරපතල ප්‍රතික්‍රීයක හිඟයක් පවතී.

කඩිනමින් අවශ්‍ය ප්‍රතික්‍රීයක ලබා ගැනීමට කටයුතු නොකලහොත්, දැඩි සීමා කිරීම් මධ්‍යයේ සිදු කරමින් අප පවතින අත්‍යවශ්‍ය පරීක්ෂණ පවා තව සති කිහිපයකින් නතර කර දැමීමට සිදුවේ.

කෙසේ නමුත් මෙලෙස ප්‍රතික්‍රීයක හිඟයක් ඇති වීමට පෙර, අප වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය ප්‍රතික්‍රීයක මිල අඩකට වඩා අඩු කරගත හැකි විකල්ප යෝජනා ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දී ඇතත්, ඒ පිළිබදව මේවන තෙක් කිසිඳු සැලකිල්ලක් දක්වා නොමැත.

යුරෝපීය ප්‍රතික්‍රීයක සඳහා අනවශ්‍ය ප්‍රතික්‍රීයක බිලක් ගෙවීමට හැකියාවක් අප රටට නොමැති බව දැන් වත් තේරුම් ගනිමින්, ප්‍රතික්‍රීයක සදහා වැයවන නාස්තිකාර වියදම පාලනය කිරීමට සෞඛ්‍ය ඇමතිවරයාට හා අමාත්‍යාංශයට පෞරුෂයක් තිබිය යුතුය. එසේම රසායනාගාර සේවය, යුරෝපීය බ්‍රෑන්ඩඩ් ප්‍රතික්‍රීයක මාෆියාවට යට කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ඉඩ හැර ඇති බැවින්, හදිසි අවස්ථාවකදී පවා රසායනාගාර සේවාව පවත්වා ගැනීමට ඉන්දීය ණය ආධාර භාවිතා කල නොහැකි තත්වයක් නිර්මාණය වී ඇත.

රවී කුමුදේශ්

සභාපති

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය