තරිඳු කැඳවීම හෙළා දකිමු ! මාධ්‍යවේදීන් මර්ධනය නවතනූ !

තරිඳු කැඳවීම හෙළා දකිමු ! මාධ්‍යවේදීන් මර්ධනය නවතනූ !

ජනමාධ්‍යවේදියකු, ජනමාධ්‍ය ක්‍රියාකාරිකයකු මෙන්ම මානව හිමිකම් ක්‍රියාකාරිකයකුද වන තරිඳු උඩුවරගෙදරට ජුනි 28 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කර ඇති දැනුම් දීම, මාධ්‍යවේදීන්, මාධ්‍ය ක්‍රියාකාරිකයන් හා නිදහස් මත පළ කරන්නන් මර්දනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා ක්‍රියාත්මක වෙමින් පවතින ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයෙහිම දිගුවක් ලෙස සලකන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය හා අප්‍රසාදය පළ කරයි.

මෙම කැඳවීම පිළිබඳව වැඩිදුර කරුණු විමසීමේදී දැනුම් දී ඇත්තේ, ගුවන් හමුදා බුද්ධි අංශය කර ඇති පැමිණිල්ලකට අදාළව, තරිඳු විසින් පවත්වාගෙන යනු ලබන ‘සටහන්‘ යූ ටියුබ් නාලිකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයක් සඳහා එම කැඳවීම කර ඇති බවයි. පැමිණිල්ලට පාදක වූ නිශ්චිත පුවතක් ගැන සඳහන් කර නොමැති අතර අදාළ නාලිකාවේ පළ කර ඇති බහුතරයක් වීඩියෝ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කෙරෙන බවත්, ඒවායේ අන්තර්ගතය හා මාතෘකා (සිරස්තල) අතර පරස්පරයක් පවතින බවත් ප්‍රකාශ කර ඇත.

මෙය මාධ්‍යකරණය පිළිබඳ කිසිදු අවබෝධයකින් තොරව සිදු කෙරෙන අත්තනෝමතික විමර්ශනයක් බව එම හේතු දැක්වීමෙන්ම පැහැදිලි වෙයි. රටක මහජන මුදල් වැය කොට ‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව‘ වැනි විශේෂ ඒකක පවත්වාගෙන යන්නේ, මෙවැනි හාස්‍යජනක කටයුතු සඳහා නොව යම් විශේෂඥභාවයක් අවශ්‍ය වන බරපතළ අපරාධ විමර්ශනය සඳහාය. පසුගිය මාස 18ක පමණ කාලයක් තුළ මාධ්‍යවේදීන්ට, සමාජ ක්‍රියාකාරිකයන්ට හා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය භාවිත කළ පුරවැසියන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්තවාදී විමර්ශන ඒකකය (TID) ඇතුළුව පොලිස් ඒකක ක්‍රියාත්මක වූ අවස්ථා පිළිබඳව නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ අඛණ්ඩ නිරීක්ෂණයට ලක් වූ අතර ඉන් බොහොමයක් කිසිදු සාධාරණ පදනමක් නොමැතිව, ජනමාධ්‍ය නිදහස හා අදහස් පළ කිරීමේ මූලික අයිතිය උල්ලංඝනය කිරීම් බව පැහැදිලිව පෙනී ගිය කරුණකි. ඒ අතරින් නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කළ අවස්ථා කිහිපය සම්බන්ධයෙන් පවා පැහැදිලි සාක්ෂි ඉදිරිපත් කිරීමට මෙම අංශ අපොහොසත් වූ බව විශේෂයෙන් සඳහන් කළ යුතුය. ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කළ සිදුවීමක් වූ අහ්නාෆ් ජසීම් කවියාට එරෙහි නඩුව ආසන්නම උදාහරණයයි.

පසුගිය මාස දෙකක පමණ කාලය ඇතුළත, ජනාධිපතිවරයාට හා පවතින ආණ්ඩුවට එරෙහි ජන අරගලයේ ක්‍රියාකාරිකයින්, ඊට සක්‍රිය දායකත්වයක් සපයන මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ අතර, අරගලකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් පවා එසේ ප්‍රශ්න කිරීමට ලක් විය. මෙය මාධ්‍ය නිදහස ඇතුළුව අදහස් පළ කිරීමේ නිදහසට බලවත් තර්ජනයක් බව නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.

ලංකාව පත්ව ඇති අභාග්‍යසම්පන්න තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා ජාත්‍යන්තරයේ සහාය අත්‍යාවශ්‍ය මොහොතක, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් කටයුතු කිරීම බරපතළ තත්ත්වයකි.

එබැවින්, ජනමාධ්‍ය ඔස්සේ හෝ, අන් කවර මාධ්‍යයකින් හෝ අදහස් පළ කිරීමේ නිදහස භාවිත කරන්නන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමේ අත්තනෝමතික ක්‍රියාදාමය වහා නතර කරන ලෙස අපි අගමැතිවරයා, මහජන ආරක්ෂක ඇමතිවරයා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු බලධාරීන්ට බල කර කියා සිටිමු.