අද-හෙට අතුරු වෛද්‍ය වෘත්තිකයෝ වැඩ වර්ජනයේ

අද-හෙට අතුරු වෛද්‍ය වෘත්තිකයෝ වැඩ වර්ජනයේ

අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයට අයත් වෘත්තීය සමිති සංගම් 29-30 දෙදින, පවතින ඉන්ධන ගැටලුව සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දෙදින සංකේත වැඩ වර්ජනයක් සිදුකිරීමට තීරණය කර ඇති අතර ඒ සදහා පූර්ණ දායකත්වය දැක්වීමට සෞඛ්‍ය කීටවිද්‍යා නිළධාරින්ගේ සංගමය තීරණය කර තිබෙන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් වන්නේ,

රට දිනෙන් දින ආර්ථික අර්බුදයේ ගිලෙමින් පවතිනව. ඒ අර්බුදයේම සෞඛ්‍ය සේවයත් දිනෙන් දින පරිහානියට පත් වෙනව. අද මිනිස්සුන්ට වඩාත් යහපත් සෞඛ්‍ය සේවයක් ලබාදීමට තියා අවම සෞඛ්‍ය පහසුකම් වත් ලබා දෙන්න නොහැකි වෙලා තියනව. සෞඛ්‍ය සේවකයන් විදියට අපි විශාල අර්බුද රාශියකට මුහුණ දීල ඉන්නව. සෞඛ්‍ය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් නිසා අනිත් රාජ්‍ය සෙවකයන් වගේ නිවෙස් වල ඉදන් අපිට වැඩ කරන්න බැහැ. අපිට තෙල් ගහන්න දිනයක් නියම කරල ෂෙඩ් කිහිපයක් නම් කරල තිබුනත් ඒවාගෙන් ඒව ලබා ගන්න නිවැරදිව වැඩ පිලිවෙලක් සකස් කරල තිබිනෙ නැහැ. බොහෝ ස්ථාන වල මිනිස්සුන්ගෙන් අපිට ලොකු විරෝධයක් ආව. ඒ මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තත් ඔවුනුත් සාධාරණයි ඔවුන් ඉන්නෙත් ලොකු පීඩණයක.

අපි ක්ෂේත්‍රයේ රාජකාරි කරන නිළධාරින්. අපේ නිළධාරින් බොහෝ පිරිසක් ක්ෂේත්‍රයේ රාජකාරි කරන්නෙ පෞද්ගලික වාහන වලින්. අපි විතරක් නෙවෙයි මහජන පරීක්ෂකවරුන් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරින් මේ හැමෝම ක්ෂේත්‍රයේ රාජකාරි කරන්නෙ. මේ සේවාවන් තමයි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කොදු නාරටිය වෙන්නෙ.

අද මේ ඉන්ධන ගැටලුව නිසා මේවා සියල්ල අඩපණ වීගෙන යනව. අද රටේ මේ වනවිට ඩෙංගු වසංගත තත්වයක් ඇති වෙලා තියනව. ඒක දිනෙන් දින වැඩි වෙමින් පවතිනව. මේව ඔක්කොම පාලනය කරන්න ක්ෂේත්‍රයේ රාජකාරි කිරීමට අත්‍යවශ්‍ය වෙනව.

අපගේ නිළධාරින්ට ඉන්ධන ලබා ගැනීමට සතියක් පමණක් පෝලිම් වල ඉන්න සිදු වෙලා තියනව. පෝලිමේ ඉඳල ඉන්ධන අරගෙන ක්ෂේත්‍රයේ රැකියාව කරන්න නොහැකි තත්වයක් උදා වෙලා තියනව. ඒ අපට පවතින ඉන්ධන මිල දරාගන්න නොහැකි නිසා. ඉන්ධන සදහා සොච්චම් දීමනාවක් ගෙවනව. ඒකෙන් තෙල් ලීටර දෙකක් වත් ගහගන්න බෑ. අපේ පඩිය මදි රාජකාරි සදහා අවශ්‍ය කරන ඉන්ධන ලබා ගැනීමටත්.

අපි අපිට කිසිම දීමනාවක් ඉල්ලන්නෙ නෑ. සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න රාජකාරි කරන්න සෑහෙන ඉන්ධන දීමනාවක් ඉල්ලන්නෙ. නැත්නම් අපිට ක්ෂේත්‍රයේ රාජකාරි සිදු කරන්න නොහැකි තත්වයක් උදා වෙනව. අපි බලධාරීන්ට මේ පිලිබදව දැනුම් දුන්න. ඒත් අපිට කිසිම පිලිතුරක් ලැබුනෙ නෑ. අපිට අකමැත්තෙන් වුනත් සිද්ද වෙනව මේ ක්‍රියාමාර්ගය ගන්න. ඒ මේ රටේ සෞඛ්‍ය සේවාවේ අනාගතය වෙනුවෙන්. මේකෙන් අපිට කිසිම වාසියක් නෑ. ඒ නිසා අපි මහජනතාවගෙන් ඉල්ලීමක් කරනව අපිට සහයෝගය දෙන්නෙ කියල. මොකද අපි මේ ක්‍රියාමාර්ග ගන්නෙ ඔබලාගේ සෞඛ්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් .