නොරොච්චෝලේ බලාගාරය නවතින්නේ ඇයි ?

නොරොච්චෝලේ බලාගාරය නවතින්නේ ඇයි ?

නොරොච්චෝලේ ලක්විජය ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්‍ර 2 හි නඩත්තු කටයුතු පිළිබඳ පසුබිම පැහැදිලි කරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වැඩබලන සාමාන්‍යාධිකාරි ඉංජිනේරු ඩි.සි.ආර්. අබේසේකර මහතා විසින් කරුණු පැහැදිළි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

ලක්විජය වැනි ගල් අඟුරු බලාගාරයක අපේක්ෂිත ආයු කාලය වසර 30ක් පමණ වන අතර, එම ආයුකාලය පවත්වා ගැනීම සඳහා නියමිත කාලයට අලුත්වැඩියා හා නඩත්තු කටයුතු සිදු කිරීම අත්‍යාවශ්‍ය කරුණකි. තාක්‍ෂණික වශයෙන් ගත් කල ගල් අඟුරු බලාගාර සංකීර්ණත්වයකින් යුක්ත බැවින්, එම බලාගාර නිෂ්පාදනය කළ සමාගම් විසින්ම නිර්දේශ කරන ලද අදියර මට්ටමේ අලුත්වැඩියාවන් හා නඩත්තු කිරීම් සිදු කිරීම පෙර සැලසුම් කර නියමිත කලට සිදු කරනු ලැබේ.

ලක්විජය ජනන යන්ත්‍රයක පිරිවැඩි / පුනරුත්ථාපන (overhaul) අලුත්වැඩියා කටයුතු සාමාන්‍ය සිරිත්හුරු (Routine) නඩත්තුවලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්ය. එහිදී අලුත් වැඩියා කටයුතු සඳහා යන්ත්‍රය නවතා, සම්පූර්ණයෙන්ම ගලවා, නි‍ර්දේශිත අමතර කොටස් ප්‍රතිස්ථාපනය කර නැවත සවි කිරීම සිදු කරනු ලැබේ. පෙර සඳහන් කරන ලද පරිදි, ලක්විජය ජනන යන්ත්‍ර අංක 02ට අදාල “A” කාණ්ඩයේ පුනරුත්ථාපන අළුත්වැඩියාවක් එහි ක්‍රියාකාරීත්වයේ සිට වසර හතර (04) සහ හය (06) අතර කාලය තුළ සිදු කළ යුතු බවට එහි මුල් නිෂ්පාදකයා විසින් නිර්දේශ කර ඇත.

මෙම යන්ත්‍රය 20‍14 ජනවාරි මාසයේදී ක්‍රියාකාරීත්වය ආරම්භ කරන ලද්දකි. ඒ අනුව සැලසුම් ප්‍රකාරව "A" කාණ්ඩයේ අළුත්වැඩියාවකට වඩා සංකීර්ණත්වයෙන් අඩු “B” කාණ්‍ඩයේ පුනරුත්ථාපන අළුත්වැඩියාවක් 2018 අගොස්තු මාසයේ දී සම්පූර්ණ කරන ලද නමුදු දැන් යන්ත්‍රයේ ජනන කටයුතු පටන්ගෙන වසර අටකට (8) වැඩි කාලයක් ගතව ඇති හෙයින් එහි “A” කාණ්ඩයේ පුනරුත්ථාපන අළුත්වැඩියාව මේ වන විටත් දෙවසරකින් ප්‍රමාදව ඇත. එම ප්‍රමාදයට හේතුව කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හමුවේ උපරිම නිර්දේශිත කාල සීමාවෙන් ඔබ්බට මෙම අළුත්වැඩියාව කල් දැමීමට සිදුවීමය. මෙම තත්ත්වය මත, ලක්විජය අංක 02 ජනන යන්ත්‍රයේ තිස් වසරක අපේක්ෂිත ආයුකාලය සහතික කිරීම උදෙසා තවදුරටත් කල් දැමීමකින් තොරව එම අළුත්වැඩියාව සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කරන ලදී.

මෙම කටයුත්ත සඳහා, ඒ වෙනුවෙන්ම කැපවූ 400ක පමණ තාක්ෂණික කාර්ය මණ්ඩලයක් සහභාගී වන අතර, දින 100ක් තුළ එම කටයුතු සම්පූර්ණ කළ යුතු බවට ඇස්තමේන්තු කර ඇත. කෙසේ නමුත් මෙවර අලුත්වැඩියාව දින 75ක් ඇතුළත අවසන් කිරීමට ලංවිම අපේක්ෂා කරයි. අලුත්වැඩියාව අතරතුර, මෙම ජනන ඒකකයේ සියළුම ප්‍රධාන පද්ධති සහ ඒ ආශ්‍රිත උපාංගවල ක්‍රියාකාරීත්වයන් 800ක් පමණ පරික්ෂා කිරීමට නියමිතය. මේ සඳහා එම පද්ධතිවල මුල් නිෂ්පාදකයින්ගේ සහයෝගය ද ලබාගැනීම සඳහා අනුමැතිය හිමිව ඇත.

බිඳවැටීම් සහ නඩත්තු පිළිබඳ ගත් කල, පසුගිය වසර කිහිපය තුළ ලක්විජය ජනන යන්ත්‍ර අංක දෙක බිඳවැටීම් හේතුවෙන් කිහිප වතාවක් ක්‍රියා විරහිත කරන ලදී. දත්ත අනුව 2014 සිට 2021 අතර කාලය පුරාවට නඩත්තු කටයුතු සඳහා එම යන්ත්‍රය ක්‍රියා විරහිත කර තිබූ කාලය එහි මුළු මෙහෙයුම් පැය වලින් 7%ක් පමණි. 2015 වසරේ සිට 2021 දක්වා ලක්විජය ජනන යන්ත්‍ර 2 හි සමස්ත ධාරිතා සාධකය (capacity factor) 80% ක් වන අතර 2014 සිට 2021 දක්වා එහි සමස්ත ලබා ගැනීමේ සාධකය (Availability Factor) 92%ක මට්ටමේ පවතී. මෙම අගයන් මෙවැනි යන්ත්‍රයක් සඳහා අපේක්ෂිත අගයනට වඩා ඉහළ සුවිශේෂි අගයක් වේ.

මහජනතාව වෙත සිදුවන අපහසුතාවයන් අවම කරගනිමින් මෙම අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු කිරීම සඳහා සෑම විටම ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරන බව මෙහිදී සඳහන් කර සිටින අතර, මෙම අභියෝගාත්මක සමයේ සකසුරුවම් සහ වගකීම් සහගත විදුලි පරිභෝජනයක් තුළින් ඒ සඳහා අප වෙත ඔබ සැමගේ සහයෝගය ලබා දෙන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටිමු.