ශ්‍රී ලංගම කඩාවැටීමේ අවදානමක

ctb

ශ්‍රී ලංගම බස්රථ වලට අවශ්‍ය ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් හිඟවීම හේතුවෙන් පොදු මගී ප්‍රවාහන සේවය ඇණහිටීමේ අවදානමක් පවතින බවත් ඒ සඳහා ශ්‍රී ලංගමයට අත්‍යාවශ්‍ය ටයර්, බැටරි සහ අමතර කොටස් සහනදායක පදනම යටතේ ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය විසින් ජනාධිපතිවරයාට ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වන්නේ,  1977 ට පෙර ශ්‍රී ලංගමයේ සේවකයින් හැත්තෑ දෙදහක් (72,000) සේවය කළ අතර බස්රථ 9,500 ක් දිනපතා ධාවනය කරන ලදී. නුමුත් අද වනවිට බස්රථ 5,500 ක් ධාවනය කරන අතර, සේවකයින් 28,000 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංගමය තුළ සේවය කරනු ලැබේ.

මේ මොහොතේ ශ්‍රී ලංගමයට උදාවී ඇති අතිශය ඛේදජනක තත්වය දිගින් දිගටම පැවතුනහොත් අනිවාර්යයෙන්ම ශ්‍රී ලංගමයේ අවසානය උදාවීම කිසිසේත් වැලක්විය නොහැක.

අද වනවිට බස්රථ ධාවනය කිරීමට අත්‍යාවශ්‍ය ටයර් විශාල ප්‍රමාණයක් නොමැත. ඒ හා සමානවම බැටරි සහ අමතර කොටස් ද, බොහෝ ඩිපෝවල නොමැත. මෙම තත්වය නිසා බස්රථ 1000 කට ආසන්න ප්‍රමාණයක් මේ මොහොතේ ධාවනයෙන් ඉවත්වී ඇත. මගී ජනතාවට විශාල සේවාවක් සිදුකරන ශ්‍රී ලංගමය රැකගැනීම සඳහා මැදිහත් වීම ආණ්ඩුවේ වගකීම වේ.

මේ වනවිට ටයර්, බැටරි ඇතුළු අමතර කොටස් වෙළෙඳ පොලේ අධික ලෙස මිල ඉහළ යාම හේතුවෙන් ශ්‍රී ලංගමයට එම අධික මිල දරා ගැනීමට නොහැකි වී ඇත.

මේ මොහොත වනවිට ඉන්ධන අර්බුදය උග්‍ර අතට පත්වී ඇති තත්ත්වයක් තුළ පොදු ජනතාව රැකියාවන් වලට වාර්තා කිරීමට, පාසල් ළමුන් පාසැල් වලට යාමට, ජනතාවට සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමට සහ වෙනත් ඕනෑම ක්‍රියාවලියක නිරත වීමට ඉන්ධන නොමැති නිසා වෑන් රථ, යතුරුපැදි, ත්‍රීවීල් රථ භාවිතා කිරීමට අපහසුතාවයකට පත්වී ඇත.

එම නිසාම පොදු ජනතාවගේ සියලුම කටයුතු සඳහා ගමන්බිමන් යාමට ශ්‍රී ලංගමයේ බස්රථ භාවිතා කරයි. පොදු ජනතාවට විධිමත්ව ප්‍රවාහන පහසුකම් ලබාදෙන ශ්‍රී ලංගමය දුර්වල වුවහොත් රටේ භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලිය සහ සේවාවන් ලබාදීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන් ඇණ හිටී. එවැනි තත්ත්වයකට පත්වුවහොත් අප රට සම්පූර්ණයෙන්ම අරාජික වන අතර, පොදු මගී ජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වේ.

එම තත්ත්වයෙන් පොදු මගී ජනතාවත් ශ්‍රී ලංගමයත් මුදවා ගැනීමට ශ්‍රී ලංගමයට අත්‍යාවශ්‍ය ටයර්, බැටරි සහ අමතර කොටස් සහනදායක පදනම යටතේ ලබාදීමට කඩිනමින් මැදිහත් වන ලෙස අප සංගමය ඔබතුමාගෙන් වගකීමෙන් යුතුව ඉල්ලා සිටින්නෙමු.