වෘත්තීය සමිති තීන්දු ගැනීමේදී පළමුව ආයතනයේ පැවැත්ම ගැන කල්පනා කළ යුතුයි

වෘත්තීය සමිති තීන්දු ගැනීමේදී පළමුව ආයතනයේ පැවැත්ම ගැන කල්පනා කළ යුතුයි

වෘත්තීය සමිති දේශපාලන පක්ෂවලට පක්ෂවලට සම්බන්ධවිම අපිට ප්‍රතික්ෂේප කළ නොහැක. නමුත් වෘත්තිය සමිති තම අරගල තීන්දු තීරණ ගත යුත්තේ තමන්ගේ ආයතනයේ කටයුතු පිළිබඳ තමන් සම්බන්ධ දේශපාලන පක්ෂවල දෘෂ්ටිකෝණයෙන් බලා නොව, වෘත්තීය සමිතියක් ලෙස තමන් ගනු ලබන තීරණ තම ආයතනයේ අභිවෘද්ධියට කොතරම් ඉවහල් වන්නේ ද යන්න පළමුව සිතා බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ කටුනායක ගුවන් තොටුපොළ සමාගමේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සංවිධානය කළ පහ වසර ශිෂ්‍යත්ව විභාගය සමත් සිය සාමාජිකයන්ගේ දූ දරුවන්ට දිරිගැන්වීමේ ත්‍යාග ප්‍රදානය කිරීමේ කටුනායක ගුවන් තොටුපොළ සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේ දී ය.

හත්වන වරටත් පවත්වන මෙම දිරිගැන්වීමේ ත්‍යාග ප්‍රදානය තුළින් දරුවෙකුට මුදලින් රුපියල් දසදහසක් ද පාසල් බෑගයක් සහ පොත් කට්ටලයක් ද එදින දිවා ආහාර වේලක් සහ ගුවන් තොටුපොළ හා ගුවන් යානයක් නැරඹීමට අවස්ථාව සලසා දෙන බව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති වර්ණසිරි බංඩාර මුහන්දිරම් මහතා පැවසීය. මෙහි දී දරුදැරියන් තිස් පස් දෙනකුට (35)පමණ මෙම තිළිණ ප්‍රදානය කෙරිණ.

එහි දී අදහස් දැක්වූ වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේ වෘත්තීය සමිති හැම විටම ක්‍රියා කරන්නේ ගණු මිසක් දෙනු නැතුව බවත්ය. වෘත්තීය සමිති හැමවිටම කරන්නේ ඉල්ලීම් ඉදිරිපත් කිරීමයි.ඔවුන් තමන්ගේ සාමාජිකයන්ට යමක් දෙන්නෙත් නැහැ.  ආයතනයට යමක් දෙන්නෙත් නැහැ. තමන්ට වෘත්තීය සමිති සියල්ල එක සමාන බවත් නමුත් තමන් වෘත්තීය සමිති යකට වටිනාකමක් දෙන්නේ එම වෘත්තීය සමිතිය තම සාමාජිකයන්ගේ අභිවෘද්ධිය සඳහා කොතෙක් කැපවී කටයුතු කරන්නේද යන්න සලකා බව අමාත්‍යවරයා මෙහි දී පැවසීය.

එ් අනුව ගුවන් තොටුපල වෘත්තීය සමිතිය සිය සාමාජික දරුවන් දිරිමත් කිරීමට මෙම තිළිණ ප්‍රදානය කිරීම මෙරට අනෙක් වෘත්තීය සමිතිවලට ආදර්ශයක් බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය .

විශේෂයෙන් අපේ රටේ ආර්ථික ප්‍රපාතයකට වැටී ඇති අවස්ථාවේ වෘත්තීය සමිති තම ආයතනය පිළිබඳ සිතා කටයුතු කිරීම වැදගත් වෙනවා.අපේ රට මෙය ආර්ථික තත්වයට වැටීම පිළිබඳව වගකිවයුතු බොහෝ පුද්ගලික සිටිනවා. සමහර නායකත්වයන්ට දායක වෙච්ච අපිත් ඒවට වගකියන්න ඕනැ. ඒක අද අපේ දෛවයේ සරදමක් බවට පත්වෙලා තිබෙනවා.නමුත් අපි අතීතය ගැන දැන් කතා කරලා වැඩක් නැහැ දැන් අපි කටයුතු කළ යුත්තේ මේ වැටී තිබෙන තත්ත්වයෙන් ගොඩ ඒම පිළිබඳවයි. ඒ සඳහා අපට ජාත්‍යන්තර සහයෝගය අත්‍යවශ්‍යයි.ජාත්‍යන්තර සහයෝගය කියන්නේ නත්තල් සීයලා නත්තල් පප්පලා වගේ නිකං කන්න බොන්න සල්ලි දෙන ආයතන නැහැ . අයිඑම්එෆ් එක අපිට සල්ලි දෙන්නේ එය සල්ලි ගෙවන්නේ කොහොමද කියලා අපි පැහැදිලි වැඩ පිළිවෙලක් ඉදිරිපත් කළොත් පමණයි.ඒ නිසා අපි කැමති වුණත් අකමැති වුණත් යම් යම් ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න අපට සිද්ධ වෙනවා. අපි අකමැතියි කියලා ඒවා නොකර හිටියොත් අපේ රට තවත් ප්‍රපාතයට යනවා. මේ රටේ පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ අයිඑම්එෆ් එක කියනවා.තමුන්නාන්සේලාගේ ආයතනයත් පාඩු ලබනවා නම් අපි අනිවාර්යෙන්ම එය ප්‍රතිව්‍යුහගත කළ යුතුයි.දැන් ශ්‍රීලන්කන් ගුවන් සේවය අපි ප්‍රතිව්‍යුහගත කළ යුතුයි. අකමැත්තෙන් වුවත් අපි එය නොකළොත් අපිට මේ ප්‍රපාතයෙන් ගොඩ එන්න කවුරුත් අත දෙන්න එන්නේ නෑහැ.නමුත් එතන දී අපි වැඩකරන ජනතාව රැක ගනිමින් තමයි මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුත්තේ.

එසේම අපි ආයතනයක කාර්මික සාමය රැක ගත යුතුයි.එදා අරගලයට සහය දීමට වරාය වැඩ වර්ජනයක් කළා. එහි ප්‍රතිඵලය වුණේ කොළඹ වරායට ආ නැව් දාහතක් ආපහු හරවලා සිංගප්පූරුවට යෑමයි.ඔවුන් නැවත අපේ වරායට එන්නේ නැහැ.ඒකෙන් රුපියල් බිලියනයයි දශම දෙකක් (කෝටි 12) අපිට පාඩු වුණා.හෙට අනිද්දා තමුන්නාන්සේලාත් අරගලය හෝ වෙන දෙයක් ගැන කියා වර්ජනය කරලා මෙහෙට එන ගුවන් යානා හරවලා ඇරියොත් ආයෙත් ඒ ගුවන් යානා මෙහෙට එන්නෙ නැහැ. අපේ ගුවන් තොටුපොළ වැඩ අඩාල කරන, හෙමින් වැඩ කරන වැඩ බාල කරන තැනක් නම් කිසිම ගුවන් සමාගමක් අපේ ගුවන් තොටුපලට ගුවන් යානා එවන්නේ නැහැ.ඒ නිසා ගුවන් තොටුපොල පාලන අධිකාරියත් වෘත්තීය සමිතිත් අතර මනා සබැඳියාවක් තිබිය යුතුයි. එහි දී පාලක හා වෘත්තිය සමිති දෙපාර්ශයම නම්‍යශීලී විය යුතුයි. අපේ ජාතික ගුවන් සේවය ජාතික සම්පතක් ලෙස අපි ආරක්ෂා කරගත යුතු යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහි දී පැවසීය.

මෙම අවස්ථාවට අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී. එච් රුවන්චන්ද්‍ර මහතා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ.චන්ද්‍රසිරි , ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ලෙස්ලි දේවේන්ද්‍ර ,ගුවන් තොටුපොළ නිදහස් සේවක  සංගමයේ සභාපති වර්ණසිරි බංඩාර මුහන්දිරම්, ශ්‍රී ලංකන් නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජයපතිරණ යන අය ද ප්‍රතිලාභී දරුවන්ගේ දෙමව්පියෝ ද එක් වූහ.