දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට නිර්දේශ ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්  

දරුවන්ගේ අධ්‍යාපනය පවත්වාගෙන යාමට නිර්දේශ ඉදිරිපත් කරන්නැයි ඉල්ලීමක්  

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු ඉතා දැඩි ලෙස අඩාළ වීම සම්බන්ධයෙන් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහාත්, ඒ පිළිබඳව අවධානය යොමු කොට, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අදාල බලධාරීන් වෙත නිර්දේශයන් හා මැදිහත්වීම් කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලා ඒකාබද්ධ ගුරු සේවා සංගමය ලිපියක් බාරදී ඉල්ලා සිටී.

එම ලිපියේවැඩිදුරටත් සඳහන් කරන්නේ,

පාසල් කටයුතු පැවැත්වීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මේ වනවිට මාධ්‍ය නිවේදන කිහිපයක් නිකුත් කර ඇති අතර එම නිවේදන මගින් පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවට පාසල් කටයුතු අඩාලවීමක් සිදුවන බව පැහැදිලි ලෙස පෙනී යයි.

පසුගිය අප්‍රේල් මස තුන්වන දින පාසල් වාර අවසාන කිරීමට දින දෙකකට පෙර පාසල් වසා දැමූ අතර වාරාවසාන විභාග කටයුතු පවා නැවැත්වීමට කටයුතු කෙරිණි.

එලෙසම පසුගිය 2022/06/20 දින සිට කොළඹ අධ්‍යාපන කලාපයේ සහ නාගරික පාසල් වසා දැමීමටත් ග්‍රාමීය පාසල් පවත්වාගෙන යෑම පිළිබඳව තීරණ ගැනීම විදුහල්පතිවරුන්ට පැවරීමටත් නිකුත් කළ මාධ්‍ය නිවේදනය අනුව මේ වන විට පාසල් අධ්‍යාපන කටයුතු අඩාළ වී ඇත.

ප්‍රවාහන ගැටලු හේතුවෙන් දරුවන්ට පාසල් පැමිණීමේ හැකියාව අවමවී ඇති අතර ගුරුවරුන් ගේ පැමිණීම ද අතිශය අවම තත්ත්වයක පවතී. ඒ අනුව සාතිශය බහුතරයක් සිසුන් මේ වන විට අධ්‍යාපන කටයුතුවලින් බැහැර බැහැර වෙමින් පවතී.

නාගරික පාසල් වල අධ්‍යාපන කටයුතු සම්පූර්ණයෙන්ම වාගේ ඔන්ලයින් ක්‍රමවේදය හරහා සිදුවන අතර Covid වසංගතය නිසා පාසල් කටයුතු ඔන්ලයින් ක්‍රමයට පත්වාගෙන යාමට කළ උත්සාහය ඉතා අසාර්ථක පියවරක් වී ඇති තිබූ අතර මෙම අවධියේ ද ඔන්ලයින් අධ්‍යාපනය ඉතා ම අසාර්ථක මට්ටමක පවතී.

ලංකාවේ පවතින තත්ත්වය අනුවඔන්ලයින් අධ්‍යාපනය යනු අසාර්ථක පියවරක් බව අමාත්‍යාංශය පවා පිළිගත් කරුණකි. එමගින් සිදුවනුයේ අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගේ අවධානය වැඩි වීම නොව අධ්‍යාපනයෙන් සිසුන් බැහැර වීම පමණක් බව අප සමාජයක් ලෙස අත්දකිමින් සිටී.

එවන් අවධියක ඔන්ලයින් ක්‍රමය ප්‍රධාන අධ්‍යාපන ක්‍රමවේදය බවට පත් වීම අතිශය භයානක තත්වයකි. ඔන්ලයින් ක්‍රමවේදය හරහා අධ්‍යාපනයේ මූලික අවශ්‍යතාවයන් කිසිසේත් ඉටු නොවන බව අප සියලු දෙනා දන්නා සහ පිළිගන්නා කරුණකි. පාසල් විශයය නිර්දේශය මෙන්ම විෂයය සමගාමී ක්‍රියාකාරකම් හරහා සිදුවන ශිෂ්‍ය සමාජානුයෝජනය, මානසික හා සාමාජයීය සංවර්ධනය ඔන්ලයින් අධ්‍යාපනය හරහා සිදු නොවන අතර  පාසල් අධ්‍යාපනය ඔස්සේ ලබාදෙන විධිමත් හා අවිධිමත් අධ්‍යාපනය ක්‍රමෝපායන් සියල්ල ඔන්ලයින් අධ්‍යාපන රටාවේදි  සිසුන් හට අහිමි වේ. නමුත් සෑම අර්බුද මොහොතකම අප සමාජයක් ලෙස සිදු කරමින් සිටිනුයේ. විෂයානුකූල දැනුම පමණක් ලබා දිය හැකි ක්‍රමවේදයක් වන ඔන්ලයින් අධ්‍යාපනය පිළිබඳව අවධානය යොමු කිරීමයි

පසුගිය වසර 3 පුරාවටම මෙරට පාසල් සිසුන්ට තම අධ්‍යාපන අවස්ථාව අහිමි වීම විශාල ලෙස සිදුවී ඇත.

2020 වර්ෂයේදී 54% ක්

2021 වර්ෂයේ දී 88% ක්

2022 වර්ෂයේ දී මෙතෙක් පැවැතිය යුතු දින ගණනින් 22%ක් සිසුන් වෙත අහිමි වී ඇත.

2022/07/03 නිකුත්කල මාධ්‍ය නිවේදනය මගින් ජූලි මස 04 සිට 08 වන දින දක්වා පාසල් වාරවසාන නිවාඩුවක්ද ප්‍රකාශයට පත්කර ඇත.

ගුරු සංගම් ලෙස අප පසුගිය covid ව්‍යසනය සමයේදී පාසල් කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා වූ ක්‍රමවේදයන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙතයෝජනා මාලා ලෙස ලබා දී ඇත. නමුත් එම යෝජනා පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය කිසිදු අවධානයක් යොමු නොකළ බව පැවසිය යුතුය. ඉන්ධන අර්බුදය හේතුවෙන් පාසල් කටයුතු අඩාල කිරීම වෙනුවට අඛන්ඩව පවත්වාගෙන යාම සඳහා කළ හැකි සාධනීය මැදිහත් වීම් සඳහා යෝජනා මාලාවක් ද අධ්‍යාපන අමාත්‍යාංශය වෙත භාරදී ඇත. නමුත් අමාත්‍යාංශය හෝ අදාළ බලධාරීන් ඒ පිළිබඳව සැලකිලිමත් වීම වෙනුවට පාසල් කටයුතු අඩාල වීමට ඉඩ දී බලා සිටීම පමණක් සිදුකරන බව ප්‍රකාශ කළ යුතුව ඇත.

මේ වන විට ඉතා විශාල සිසුන් ප්‍රමාණයක් පාසල් කටයුතුවලින් බැහැරව තම අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වී සිටින බව හඳුනාගත හැකි අතර අධ්‍යාපන අමාත්‍යංශයේ වගකීම් විරහිත ස්වභාවය හේතුවෙන් සිසු ජීවිත ඉතා විශාල අවධානමකට ලක් කෙරෙමින්ද පවතී.

පසුගිය දිනෙක ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයෙන් වාර්තා වූ සිදුවීම අනුව බස් රට නොමැති වීම හේතුවෙන් සිසුන් ලොරි රථයක ගමන් කරමින් සිටි අවස්ථාවේ ලොරි රථයේ තට්ටුව කඩා වැටීම හේතුවෙන් පිරිසක් තුවාල වී රෝහල් ගත කර ඇත.

එලෙසම බස්රථ හිඟකම හේතුවෙන් සිසුන් පාපුවරු වල සහ බස් රථවල වහලයේ ගමන් කරන තොරතුරු ද විවිධ ප්‍රදේශවලින් වාර්තා වේ. ආහාර නොමැති වීම නිසා දරුවන්ද සමග දෙමාපියන් දිවි හානිකර ගැනීම් වැනි සිදුවීම් පහුගිය දින කිහිපය පුරා වාර්තා වී ඇති ඉතා අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් පමණක් වන අතර එවන් සිදුවීම් ඉතා විශාල ප්‍රමාණයක් දිනෙන් දින වාර්තා වන බවද එමගින් මෙරට දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ මෙන්න සුරක්ෂිත ජීවිතයක් ලැබීමේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇත.

මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය හෝ ජාතික ළමාරක්ෂක අධිකාරියේ අවධානය යොමු වූයේ ද යන්න සැක සහිතය. ජාතික ළමාරක්ෂක අධිකාරිය ලෙස ඔබ ආයතනයේ අවධානය ඒ පිළිබඳව විශාල වශයෙන් යොමු විය යුතු බව අප විශ්වාස කරමු.

අධ්‍යාපනයේ සුවිශේෂී තත්ත්වයක් වන දක්ෂ ගුරුභවතුන් රදවා ගැනීම හා ගුරු සේවයට කැදවීම උදෙසා 1994 දී ස්ථාපිත කල වැටුප් ක්‍රමය උදුරාගැනීම හරහා පාසල් අධ්‍යාපනය විනාශ වීම වැලැක්වීමේ අරමුණින් සිදුකල online වර්ජනය අවදියේ රජයෙන් කරුණු විමසීම වෙනුවට ඔබ ආයතනය අපගෙන් කරුණු විමසමින් ලිපියක් පවා යොමුකල බවද මතක් කරමු (NCPA/LED/21/09/06). එම අවදියේ ඔබ ආයතනයට තිබූ එම උනන්දුව පිලිබදව අපි ඉතාම සතුටු වන අතර මේ වනවිට පාසල් අධ්‍යාපනය

කඩාවැටීමෙන්, දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ අයිතිය, සුරක්ෂිතව ජීවත්වීමේ අයිතිය රජය විසින් ඉතාම සැලසුම් සහගත ලෙස උල්ලංඝනය කරමින් සිටින අවධියක ගුරු සංගමයක් ලෙස අප ඔබ ආයතනය වෙත යෝජනා කරනු ලබන්නේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිතභාවය වෙනුවෙන් ඉතා දැඩි මැදිහත්වීමක් කළ යුතු බවය.

පාසල් කටයුතු අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා අප සංගමයක් ලෙස ලබාදුන් යෝජනාවලිය ද මේ සමග ඔබට ඉදිරිපත් කරන ලබන අතර ඒ පිළිබඳව අවධානය යොමු කොට, අධ්‍යාපන අමාත්‍යංශයේ සහ අදාල බලධාරීන් වෙත නිර්දේශයන් හා මැදිහත්වීම් කරන ලෙස ජාතික ළමාරක්ෂක අධිකාරියෙන් ඉල්ලා සිටිමු.

රටක අනාගතය වෙනුවෙන් ඉටු කළ යුතු ප්‍රමුඛතම කාර්යභාරය වනුයේ දරුවන්ගේ අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මිස එම අධ්‍යාපනය ද්වීතීක කොට සලකා කටයුතු කිරීම නොවන බව වගකිවයුතු පුරවැසියන් හා සංවිධාන ලෙස දිගින් දිගටම අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය වෙත අවධාරණය කර ඇති නමුත්, කිසිදු සාධනීය මැදිහත්වීමක් මෙතෙක් පෙන්නුම් කර නොමැත.

රටක අනාගතය වෙනුවෙන් දරුවන් ප්‍රමුඛ විය යුතු අතර ඉතිරි සියල්ල ඊට ද්විතීක වන බව අප දැඩිව විශ්වාස කරමු.