දුම්රිය වර්ජනයට ස්ථානාධිපතිවරුන් හා රියදුරුන් එක්වෙයි

දුම්රිය වර්ජනයට ස්ථානාධිපතිවරුන් හා රියදුරුන් එක්වෙයි
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක කාලයකට සියලුම සේවාවලින් ඉවත් වන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර පවසයි.
 
දුම්රිය ධාවනය පිළිබඳව මගී ජනතාව දැනුවත් කිරීමට පාලන අධිකාරිය අසමත්වීම මත ජනතාව පීඩනය දුම්රිය ස්ථානාධිපතිවරුන්ට දිගින් දිගටම මුහුණ දීමට සිදුවීම පිළිබඳව අවධානය යොමු කර සහ නියාමක සංගමය සමඟ පමණක් සාකච්ඡා කර දුම්රිය කීපයක් ධාවනය කිරීමට පාලන අධිකාරිය තීරණය කිරීමට විරෝධය දක්වමින් මෙම තීරණයට එළඹි බවත්, අද රාත්‍රී ගමන් ආරම්භ කළ සියලුම දුම්රිය ගමනාන්තය දක්වා ධාවනය කරන බවත් කසුන් චාමර කියා සිටියි.
 
 මේ අතර දුම්රිය ධාවනාගාර සේවකයන් සහ නියාමකයන් ක්‍රියාත්මක කරන වැඩවර්ජනයට දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ කොටසක් අද (5) මධ්‍යම රාත්‍රීයේ සිට එකතු වන බව දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියේ කැඳවුකරු ඉන්දික දොඩන්ගොඩ සඳහන් කළේය.
 
දුම්රිය නඟාසිටුවීමේ වෘත්තීය සමිතියට සහය දක්වන දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ පිරිස මෙම වැඩවර්ජනයට එක්වන බවත්, ඉන්ධන ගැටලුවට දුම්රිය සේවකයන් දැඩිව මුහුණ දී සිටින බවත් දොඩන්ගොඩ මහතා වැඩි දුරටත් කියා සිටියේය.