සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තෙල් ලබා නොදීම ගැන හේතු පැහැදිලි කළ යුතුයි!

සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තෙල් ලබා නොදීම ගැන හේතු පැහැදිලි කළ යුතුයි!
රෝහල් පද්ධතිය බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම සඳහා ඊයේ (08) දින සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබාදීමට නියමිතව තිබුණද, හදිසියේම ඊයේ දින බලධාරීන් විසින් එය පැය 48කට කල් දැමීමට හේතු නිශ්චිත ලෙස පැහැදිලි කළ යුතුව ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
 
සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෙත ඉන්ධන ලබා දීම පැය 48කට කල් දමා ඇත්තේ රටේ පවතින වර්තමාන තත්ත්වය මත බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබෙන අතර එයට බලපා ඇති කාරණා පැහැදිලි කළ යුතු බව එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ අද (08) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.
 
සෞඛ්‍ය වෘත්තිකයින්ට ඉන්ධන ලබා දීම හදිසියේ අත්හිටුවීමට නිශ්චිතව කරුණු දක්වා නැතත්, හෙට දවසේ ක්‍රියාත්මක වීමට නියමිත අරගලය හේතුවෙන් එය කඩාකප්පල් කිරීමේ යටි අරමුණකින් මෙලෙස සෞඛ්‍ය අංශ වෙත ඉන්ධන නිකුත් කිරීම හිටි හැටියේ ම නවතා දැමීමට කටයුතු කිරීම කුමන්ත්‍රණයක් යැයි තමන්ට සිතෙන බව ද, ඔහු ප්‍රකාශ කළේය.
 
මේ අතර වත්මන් පාලනය ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන අවස්ථාවක ඊට කන් නොදෙන්නේ නම්, පාලනය පලවා හැරීම වෙනුවෙන් එළඹෙන සතියේ දී දැඩි වෘත්තීය ක්‍රියාමර්ග ගැනීමට පැකිලෙන්නේ නැති බවද,  අලුත්ගේ කියා සිටියේය.
 
එළඹෙන සඳුදා, අඟහරුවාදා දිනය වන විට මෙම අර්බුදය විසඳුවේ නැත්නම් රෝහල් පද්ධතිය ස්වයංක්‍රියව වැසී යාම වැලැක්විය නොහැකි බව හෙතෙම අවධරණය කළේය.
 
වැඩ වර්ජනයකට හෝ කැඳවූයේ නැති මාතෘ රෝහල්,පිළිකා රෝහල්, ළමා රෝහල්, වකුගඩු රෝහල් පවා අද පවත්වාගෙන යාම අර්බුදයටක ලක්ව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.
 
එහෙයින් මෙම අර්බුදය කළමනාකරණය කිරීමට පාලකයන් වහා ම ක්‍රියා කළ යුතුව ඇති බව ඔහු පැවසුවේය.
 
මෙහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
 
"මේවන විට රෝහල් කාර්ය මණ්ඩලය වෙත සේවයට වාර්තා කිරීමේ හැකියාව නැතිවෙමින් තිබෙන අතර ගිලන් රථ සඳහා ද ඉන්ධන ප්‍රමාණවත් නොවන තත්ත්වයක් මතුව තිබෙනවා. සෞඛ්‍ය කාර්ය මණ්ඩල සඳහා ඉන්ධන නිකුත් කරන පිරවුම් හල් 113 හරහා කඩිනමින් එය ලබා දීමට සඳුදා හෝ අඟහරුවාදා වන විට හෝ ක්‍රියාමර්ග ගන්න වෙනවා. රෝහල් විවෘතව තබාගැනීමට නම් අවශ්‍ය වැඩපිළිවෙල තහවුරු කරන්න කියල අපි කියනවා. ජනතා පරමාධිපත්‍යයට ගරු කර නව පාලනයක් ඉල්ලා සිටින්නේ නම් ඊට ඉඩ ලබා දීමට වත්මන් පාලකයන් ක්‍රියා කළ යුතුව ඇති අතර, ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටුකරදීමට මැදිහත් විය යුතුයි."