පොලිස් ඇඳිරි නීතිය වහාම ඉවත් කරන්න - ත.ජ.ස

පොලිස් ඇඳිරි නීතිය වහාම ඉවත් කරන්න - ත.ජ.ස

හදිසි නීතිය පනවා නොමැති මෙවැනි අවස්ථාවක ඇඳිරිනීතිය පැනවීම සඳහා පොලිස්පති ලෙස ඔබට බලය ලැබුණේ කුමන නීතියක් යටතේද යන්න බරපතළ ගැටලුවක් බව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමුකරමින්  තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඉල්ලා සිටින්නේ පනවා ඇති නීති විරෝධී පොලිස් ඇඳරිනීතිය වහාම ඉවත්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන ලෙසයි.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

නීති විරෝධී ලෙස ඇඳිරි නීතිය පැනැවීම සහ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් බල ප්‍රදේශ කිහිපයකට 'පොලිස් ඇඳිරි නීතිය' පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය මීට ටික වේලාවකට පෙර  නිවේදනය කළේය.

හදිසි නීතිය පනවා නොමැති මෙවැනි අවස්ථාවක ඇඳිරිනීතිය පැනවීම සඳහා පොලිස්පති ලෙස ඔබට බලය ලැබුණේ කුමන නීතියක් යටතේද යන්න බරපතළ ගැටලුවකි.

ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ අත්තනෝමතික පාලනයට එරෙහිව පුරවැසියන් සාමකාමී අරගලයක් දියත් කරන මෙවැනි කාලවකවානුවක එම සාමකාමී විරෝධතා නතර කිරීම සඳහා  පවතින නීතියට අතික්‍රමණය කරමින් ඔබ විසින් පොලිස් ඇඳිරි නීතිය දැමීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආරක්ෂා කර ඇති භාෂණයේ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් රැසක් උල්ලංඝණය කිරීමක් ලෙස තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි සලකමු.

එසේ හෙයින් ඔබ විසින් පනවා ඇති නීති විරෝධී පොලිස් ඇඳරිනීතිය වහාම ඉවත්කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරන ලෙස අපි දැනුම් දෙමු.