ලංකා බැංකු සේවක සංගමය අනෙකුත් වෘත්තී සමිතිවලට ආදාර්ශයක් - කම්කරු කොමසාරිස් ජනරාල්

Prabath-chandrakeerth-LCG

ලංකා බැංකු සේවක සංගමය ජාතික කම්කරු උපදේශක සභාවේ නිත්‍ය සාමාජිකත්වය දරමින් බැංකු සේවකයින්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බව පැහැදිලි කරුණක් මෙන්ම, සමහරක් වෘත්තීය සමිති මෙන් නොව, අප දෙපාර්තමේන්තුව සමග සුහදශීලී සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ලංකා බැංකු සේවක සංගමය කටයුතු කිරීම පැසසියයුතු කරුණක් බව ලංකා බැංකු සේවක සංගමයේ 13 වන නියෝජිත සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා තම දේශණයේදී පවසා සිටියා.

ඒ මහතා කළ සම්පූර්ණ කතාව පහතින් දැක්වේ.

ලංකා බැංකු සේවක සංගමයේ 13 වන නියෝජිත සම්මේලනය සඳහා, ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, මාහට මේ අවස්ථාවට සහභාගී වන ලෙස ආරාධනය කිරීම සම්බන්ධයෙන් මාගේ හදපිරි ස්තූතිය ලංකා බැංකු සේවක සංගමයට පිරි නැමීමට කැමැත්තෙමි.

එසේම, මේ අවස්ථාවට මා සහභාගී වන්නේ, කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වශයෙන් මෙන්ම, ලංකාවේ ප්‍රමුඛතම සේවාව වන ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ හිටපු සභාපතිවරයෙකු වශයෙන් වීමද, අතිශයින් සතුටට කරුණකි.

ශ්‍රී ලංකාවේ බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලතම හා ස්වාධීන වෘත්තීය සමිතිය වන ලංකා බැංකු සේවක සංගමය ආරම්භ කර ඇත්තේ 1943 දී එනම්, මීට වසර 79කට පෙරය.

ලංකා බැංකු සේවක සංගමය රාජ්‍ය හා පෞද්ගලික බැංකු 18ක ක්‍රියාත්මක වන අතර, එහි සාමාජිකයත්වය 30,000 ක් පමණ වේ. සියලුම බැංකු සමග සාකච්ඡා කරමින් සාමූහික ගිවිසුම් වලට අත්සන් කරමින් බැංකු ක්ෂේත්‍රයේ කාර්මික සාමය ආරක්ෂා කරමින් රටේ ආර්ථික ක්‍රියාවලියට පූර්ණ දායකත්වයක් දෙමින් කටයුතු කිරීම පැසසුමට ලක්වන කරුණක් බව පැවසීම අතිශයෝක්තියක් නොවේ.

මේ වන විට ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුධයේ දිග පළල සම්බන්ධයෙන් ඔබ සැමට මනා අවබෝධයක් ඇතැයි මා විශ්වාස කරනවා. 20 වන සියවසේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය දෙස බැලීමේදී මෙවැනි අර්බුධ 02ක් කැපී පෙනෙනවා. එනම්,

  • 1929 දී ඇතිවූ ගෝලීය ආර්ථික අවපාතය නිසා ලංකාවට මුහුණපෑමට සිදුවූ අර්බුධය

සහ ඉන්පසු,

  • 70 දශකයේත් 80 දශකයේ මුල්කාලයේත් අපි අත්විඳි ආර්ථික අර්බුධයයි.

ඒ කෙසේ වුවත්, වර්තමානයේ ශ්‍රී ලංකාව පෙර නොවූ විරූ ආර්ථික අර්බුධයකට මුහුණ දී ඇත. ඒ සඳහා කරුණු 04ක් ප්‍රධාන වශයෙන්ම බලපෑ බව පැවසිය හැකිය. එම කරුණු 04හි එකතුව නිසා මුළු ලංකාවම අඳුරු ගිගුරුම් සහිත ජල ගැල්මක ගිලී යාමට තරම් දරුණු කරුණු වේ. එනම්,

  1. කොරෝනා වෛරසය
  2. කොරෝනා වෛරසය නිසා ගෝලීය හා දේශීය ඒකාබද්ධ භාණ්ඩ සැපයීමට ඇති කරන ලද බලපෑම.
  3. ඵලදායිතාවයෙන් අඩු ඉදිකිරීම් සහ ආනයනික පාරිභෝගික භාණ්ඩ සඳහා වැඩිපොලී අනුපාත යටතේ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපොළවල් වලින් අසීමාන්තික ලෙස විදේශ ණය ගැනීම. මෙසේ ලබා ගන්නා ලද ණය අඩුකල් පිරීමේ කාලයකින් යුතු වීම ආර්ථිකයට අහිතකර ලෙස බලපා ඇත.
  4. ගංවතුර, නියඟ, දේශපාලන අස්ථාවරභාවය හා පාස්කු බෝම්භ ප්‍රහාරය හේතුවෙන් ඇති වූ ආර්ථික මන්දගාමීත්වය.
  5. ආර්ථික වර්ධනය සඳහා බරපතල ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට අපොහොසත් වීම නිසා සැබෑ වර්ධනය පහත වැටීමක් පෙන්නුම් කර ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප නිදහසින් පසු ශ්‍රී ලංකාවේ පළමු ස්වෛරී ණය ගෙවීම් පැහැර හැරීම සිදුව ඇත.

ඒ කෙසේ වුවත් දැන් අප සිදුවූ දෙවල් නැවත නැවත පුණරුච්ඡාරණය කිරීම ඵලක් ඇති කාර්යයක් නොවේ. රටේ ආර්ථිකය රැක ගැනීම සඳහා ඒ වගේම, රට පත්ව ඇති මේ අර්බුධයෙන් ගොඩඒම සඳහාත් රටේ බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීම ඔබගේ මෙන්ම රජයේ ද යුතුකමක් හා වගකීමකි. මන්ද, රටේ බැංකු පද්ධතිය කඩා වැටුනහොත් එයින් පොදු මහජනතාවට මුහුණ දීමට සුදුවන අණිටු ඵල විපාක නිසා මේ අර්බුධය තව තවත් තීව්‍ර වනු නොඅනුමානයි.

පවතින ඉන්දන අර්බුදය මත බැංකු පද්ධතිය පවත්වාගෙනයාමත් ගැටළු සහගත බව පෙනී යනවා. සේවක සේවිකාවන්ට රාජකාරියට වාර්තා කිරීමේදී නොයෙකුත් දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුව ඇත. එනිසා රජය විසින් බැංකු පද්ධතිය පවත්වාගෙන යාම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙලක් සකස්කර එයට ප්‍රම්ඛතාවය දිය යුතු වෙනවා.

එනිසා ලංකා බැංකු සේවක සංගමය හා  බැංකු පද්ධතියේ සේවය කරනු ලබන සේවකයින්ගේ උරමත පැවරී ඇති වගකීම සුළුපටු නොවේ. ඒ සඳහා ඔබ කැපවී ඇති බව මම හොඳාකාරයෙන්ම දනිමි. එනිසා මේ අවස්ථාවේ අපට යම් කැපකිරීම් සිදු කිරීමට සිදුවුවද එය රට වෙනුවෙන් කරන කාර්යභාරයකි. ඒ සඳහා ඔබගේ දායකත්වය උපරිමයෙන්ම ලබාදෙනු ඇතැයි මම විශ්වාස කරමි.

ලංකා බැංකු සේවක සංගමය ජාතික කම්කරු උපදේශක සභාවේ නිත්‍ය සාමාජිකත්වය දරමින් බැංකු සේවකයින්ගේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන බව පැහැදිලි කරුණකි. සමහරක් වෘත්තීය සමිති මෙන් නොව, අප දෙපාර්තමේන්තුව සමග සුහදශීලී සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට ලංකා බැංකු සේවක සංගමය කටයුතු කිරීම පැසසියයුතු කරුණකි.

එසේම, කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන මෙහෙවර වන්නේ කම්කරු අයිතීන් ආරක්ෂා කරමින් කම්කරු අයිතීන් තහවුරු කරන ලද කාර්මික සාමය සහිත සුනිසි වැඩ පරිසරයක් තුළින් ආර්ථික සංවර්ධනයට දායකත්වය සැපයීමයි. එහිදී

  •   කාර්මික ආරවුල් සමථ කිරීම
  • සමාජ කථිකාවත ප්‍රවර්ධනය කිරීම
  • කම්කරු නීති සම්බන්ධයෙන් සේවක ප්‍රජාව දැනුවත් කිරීම
  • සේවක අර්ථසාධක අරමුදල් ප්‍රවර්ධනය කිරීම
  • එහි ප්‍රතිලාභ සාමාජිකයින් වෙත ලබා දීම.
  • ළමුන්, කාන්තාවන් හා කරුණයින් රැකියාවෙහි නිරත කිරීමේදී ඔවුන්ගේ රැකවරණයට අදාළ නීති සැකසීම සහ ක්‍රියාත්මක කිරීම.
  • කර්මාන්ත ක්ෂේත්‍රයන්හි සුරක්ෂිතතාවය හා සෞඛ්‍ය ආරක්ෂාවට අදාලව ක්‍රියාත්මක වීම.

යනාදිය ප්‍රධාන කාර්යභාරයන් ලෙස සැලකිය හැකිය.

මෙහිදී විශේෂයෙන්ම ළමා ශ්‍රමය ගැන සමාජයේ කතිකාවට බදුන් වියයුතු කරුණක් බව ඔබ හමුවේ සිහිපත් කිරීමට කැමැත්තෙමි. 2021 වර්ෂය එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ජාත්‍යන්තර ළමා ශ්‍රමය පිටු දැකීමේ වර්ෂය ලෙස නම්කර තිබූ අතර, එම වර්ෂය තුළදී ළමයකු සේවයෙහි යොදවා ගැනීමේ වයස් සීමාව වයස අවුරුදු 14 සිට 16 දක්වා ඉහළ නංවාලීමට අදාළ නීති රීති සැකසීමට හැකියාව ලැබුණි.

එසේම, මෙතෙක් පැවති අනතුරුදායක රැකියා ප්‍රමාණය 51 සිට 71ක් දක්වා පුළුල් කර එම අනතුරුදායක රැකියාවන්හි වයස අවුරුදු 18ට අඩු කිසිම ළමයකු සේවයේ යොදවා ගැනීම දඬුවම් ලැබිය හැකි වරදක් බවට නීති රීති සකස් කර තිබුණි.

එසේම 2021 වර්ෂය තුළදී සේවකයින් සේවයෙන් ඉවත් කිරීමේ පනත අනුව ගෙවිය හැකි උපරිම වන්දි මුදල තිබුණේ රු.1,250,000 (දොළොස් ලක්ෂ පනස් දහසක්) වන අතර එය රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කිරීමට හැකියාව ලැබුණි.

එසේම පෞද්ගලික අංශයේ සේවකයින් සේවයෙන් ඉවත් කිරීමේ අවම වයස් පනතක් සකස්කර, විශ්‍රාම යාමේ වයස අවුරුදු 60 දක්වා තීරණය කෙරුණි.

එසේම 2022 වර්ෂයේදී කාර්මික ආරවුල් පනතට සංශෝධනයක් සිදු කරමින් මහේස්ත්‍රාත් අධිකරණවලට සමගාමීව කම්කරු විනිශ්චය අධිකරණ වලද කම්කරු දෙපාර්තමේන්තුවට නඩු පැවරීමට හැකිවන පරිදි සංශෝධනය කෙරුණි. මේ හරහා පෞද්ගලික අංශයේ මෙන්ම අර්ධ රාජ්‍ය අංශයේ සේවක සේවිකාවන්ටද ඉමහත් සෙතක් සැලසෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.

අවසාන වශයෙන් ලංකා බැංකු සේවක සංගමයේ 13වන නියෝජිත සමුළුවට මාගේ උණුසුම් සුභ පැතුම් එක්කරමින් ලංකා බැංකු සේවක සංගමය මගින් ඉදිරියේදී ගන්නා සියලු ක්‍රියාමාර්ග අතිශයින් සාර්ථක වේවා යන ප්‍රාර්ථනය ද සිදු කරමි.

ලංකා බැංකු සේවක සංගමයේ අභිමානවත් 13වන ජාතික නියෝජිත සම්මේලනය (08) දින දෙස්-විදෙස් වෘත්තීය සමිති නායක/නායිකාවන්ගේ සහභාගිත්වයෙන් මහරගම තරුණ සේවා ශ්‍රවණාගයේදී පැවැත්විණ.