පොලිස් කොට්ඨාස 7ට ඇඳිරි නීතිය - එය නීති විරෝධී බව නීතිඥ සංගමය කියයි!

පොලිස් කොට්ඨාස 7ට ඇඳිරි නීතිය - එය නීති විරෝධී බව නීතිඥ සංගමය කියයි!
බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 7 ක සියලුම පොලිස් බලප්‍රදේශ ආවරණය වන පරිදි ඊ‍යේ (8) රාත්‍රී 9.00 සිට නැවත දැනුම් දෙන තෙක් පොලිස් ඇඳිරි නීතිය පැනවූ බව පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතා නිවේදනය කළේය.
 
මීගමුව, කැලණිය, නුගේගොඩ, ගල්කිස්ස, කොළඹ (උතුර), කොළඹ (දකුණ) සහ කොළඹ (මධ්‍යම) යන කොට්ඨාසවලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ බවත් එම පොලිස් බලප්‍රදේශවල සියලුම පුද්ගලයන් තමන්ගේ නිවාසවල රැදීසිටියුතු අතරම පොලිස් ඇඳිරි නීතිය කඩ කිරීම මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා බාධා කිරීමත් ලෙස සළකා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් පොලිස්පතිවරයාගේ නිවේදනයේ සඳහන් වේ.
 
පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බලප්‍රදේශ හරහා ගමන් කිරීම සම්පූර්ණයෙන් තහනම් බවත්, ඒ සඳහා වෙනත් විකල්ප මාර්ග භාවිතා කළ යුතු බවත් පොලිස්පතිවරයා එම නිවේදනයෙන් වැඩි දුරටත් පවසයි.
 
සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, ශ්‍රී ලංකා නීිතිඥ සංගමය, නීතිඥ සරත් ජයමාන්න, නීතිඥ එම්.ඒ් සුමන්දිරන්, නීතිඥ නුවන් බෝපගේ යන අය පවසන්නේ මෙම පොලිස් ඇඳිරි නීතිය පැනවීම මුළුමනින්ම නීති විරෝධී බවයි. 
 
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, ජනාධිපති නීතිඥ සාලිය පීරිස්ගේ අස්සනින් යුතුව නිකුත් කර ඇති නිවේදනයේ මෙසේ දැක්වෙයි.
 
"පොලිස්පතිවරයා විසින් පනවන ලද උද්දේශිත පොලිස් ඇඳිරි නීතිය පිළිබඳ ප්‍රකාශය"
පොලිස්පතිවරයා විසින් බස්නාහිර පළාතේ ප්‍රදේශයන් තුළ පනවා ඇති උද්දේශිත පොලිස් ඇඳිරි නීතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතීඥ සංගමය ස්වකීය බලවත් විරෝධතාවය ප්‍රකාශ කර සිටියි.
 
එවැනි ඇඳිරි නීතියක් පැනවීම සඳහා පොලිස් ආඥා පනතේ ප්‍රතිපාදනයන් නොමැත. එවැනි ඇඳිරි නීතියක් අනීතික වන අතර ස්වකීය මූලික අවශ්‍යතාවයන් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම නිසා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔහුගේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවල නියුතු අප රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමකි.
 
ඔහු විසින් එවැනි ඇඳිරි නීතියක් පනවන ලද්දේ කුමන අධිකාරියක් යටතේ දැයි පොලිස්පතිවරයාගෙන් විමසා සිටී.
ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීම මගින් පැහැදිලි ව අපේක්ෂා කර ඇත්තේ භාෂණයට සහ විසම්මුතියට ඇති නිදහස යටපත් කිරීම වන අතර එය සහමුලින් ම ප්‍රජාතාන්ත්‍රවාදයට පටහැනි සහ පිළිගත නොහැකි වනවා සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සහ සාමාජීය සහ දේශපාල ස්ථාවරත්වයට දැඩි හානියක් සිදු කරනු ඇත. එය ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපයටද හානි කරනු ඇත.
 
ස්වකීය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු ම පියවර ගන්නා මෙන් සහ එවැනි අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා ඔවුන් සතු සෑම සාමකාමී ක්‍රියාමාර්ගයක් ම භාවිතා කරන මෙන් ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිමු.
 
ඔහුගේ අනීතික නියෝගය වහාම ඉල්ලා අස් කරගන්නා මෙන් අපි පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටිමු.
උද්දේශිත ඇඳිරි නීති නියෝගය ඉල්ලා අස් කර නොගැනීම මගින් රට දැඩි ප්‍රතිවිපාකයන්ට මුහුණ දීමට සිදු වනු ඇත."