බැරිම වුණොත් පරිපාලන සංගමයත් පාරට බහින්න සූදානම්

බැරිම වුණොත් පරිපාලන සංගමයත් පාරට බහින්න සූදානම්
දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් වගකිව යුතු වෘත්තීය සංවිධානයක් ලෙස ක්‍රියාමාර්ගවලට එළඹෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.
 
එහි  සභාපති රෝහණ ද සිල්වා මහතා ඊයේ (8) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේය.
 
අරගලකරුවන් සමඟ සෘජුවම එයට සහභාගි වීමට නොහැකි වුවද පරිපාලන සේවා සංගමය ඔවුන්ගේ මතය පිළිගන්නා බව කී සභාපතිවරයා වර්තමාන ආණ්ඩුව පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමක් නොමැති බව ද, අවධාරණය කළේය.
 
දේශපාලනඥයන්ට ජනතාව චෝදනා කරන විට ඔවුන් රාජ්‍ය නිලධාරීන්ට චෝදනා කිරීම ආරම්භ කර ඇති බවත්, අමාත්‍යවරයා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පත්කළ පුද්ගලයන් හරහා රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ ක්‍රියාවලින් සියයට 99 ක්ම සිදුවන බවත් සභාපතිවරයා පෙන්වා දුන්නේය. 
 
අමාත්‍යවරයාගේ හෝ වෙනත් දේශපාලනඥායකුගේ පිළිගත නොහැකි යෝජනාවලට අස්සන නොතබා සිටීම සඳහා රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතු බව කී සභාපතිවරයා සඳහන් කළේ වැරදි කරන නිලධාරීන් වෙනුවෙන් එම සංගමය පෙනී නොසිටින බවද අවධාරණය කළේය.
 
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ පරිපාලන සේවා සංගමය මීට මාස කීපයකට පෙර රට අරාජික වුවහොත් එල්ල වන බලපෑම තක්සේරු කර ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සියලු දෙනාට යෝජනවාලික් ඉදිරිපත් කළ ද, අවාසනාවකට රජය ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකළ බවත්, එළියට එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පුස්ස බින්දා වැනි එම සංගමය යොමු කළ කරුණු කිසිවක් සළකා නොමැති  බවත්, රජ්‍ය නිධාරීන්ට ඇමතිවරයාගේ විධානය අනුව කටයුතු කරන පිරිසක් වීම නිසා චෝදනාවට ලක්ව ඇති බවත් පෙන්වා දුන්නේය.
 
වර්තමානය වන විට රට තුළ ප්‍රතිපත්තයක් නැතිකම ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බව කී ආරියරත්න මහතා  ආණ්ඩුව සාධනීය යෝජනා අවධානය යොමු නොකර බලය රැකගැනීමට කටයුතු කරමින් සිටින බව කියා සිටියේය.  
 
අරගල භූමියට ගිහින් අරගල කිරීමට නොහැකි වුවත් ආණ්ඩුව ගමන් මාර්ග වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී අගලකරුවන් සමඟ ඉදිරියට ඒමට සිදුවන බවත්, මහජන ඉල්ලා සිටින ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි රජයක් බිහිකර රට වර්තමාන තත්ත්වයෙන් මුදාගැනීමට වාහා පියවර ගත යුතු බවත් ආරියරත්න මහතා සඳහන් කළේය.
 
අරගලයට සෘජුව සහය නොදැවුව ද ඒ මතය බැහැර නොකරන බව කී රංජිත් ආරියරත්න මහතා රජය මහජන මතයට ඇහුම්කන් නොදෙන්නේ නම් ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදුවන බව ද අවධාරණය කළේය.
 
ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල කියා සිටියේ ජනතාව සියදහස් ගණනක් ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැදීසිටීම නිසා කොළඹ ප්‍රධාන මහා මාර්ග අවහිර වී මිනිසුස් මහ මාර්ගවල ඇද වැටිලා මැරෙන තත්ත්වයක් තුළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පාර්ලිමේතුවේ කථා කරමින් සිටි බවත්, ජනතා හඩට ඇහුම්කන් නොදෙන්නේ නම් පරිපාලන නිලධාරීන්ට ද පාරට බැසීමට සිදුවන ඇති බවත් පෙන්වා දුන්නේය.