අරගලය ජයග්‍රහණයෙන් අවසන් කරන තෙක් එය නිර්ප්‍රචණ්ඩ වෙමු! අවිහිංසාවාදය පමණක්ම පතුරවමු!

අරගලය ජයග්‍රහණයෙන් අවසන් කරන තෙක් එය නිර්ප්‍රචණ්ඩ වෙමු! අවිහිංසාවාදය පමණක්ම පතුරවමු!

අරගලය තුළ කිසිඳු අයුරකින් ප්‍රචණ්ඩත්වය පැතිරීම අප කිසිඳු මොහොතක කිසිඳු ලෙසකින් අනුමත නොකර, අරගලය සෑම මොහොතකම අවිහිංසාවාදය තුළින්ම පමණක් ජයගත යුතුබව Black Cap Movement අවධාරණය කරන බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

අප සංවිධානයද ඇතුළුව පුරවැසි අරගලයට දායකත්වය ලබාදෙන සංවිධාන ගණනාවක් එක්ව ජූලි මස 08 වන දා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා සෑම විටම නිර්ප්‍රචණ්ඩ වන ලෙස සියලු අරගල කරුවන්ගෙන් ඉල්ලා සිටි අතර අරගලය ප්‍රචණ්ඩත්වයට පෙරලන මාළිගා කුමන්ත්‍රණයන්ට හවුල් නොවන ලෙස සියලු ආරක්ෂක අංශ සාමජිකයන්ගෙන් ඉල්ලා සිටින ලදී.

එවන් තත්ත්වයක් තුළ ජූලි 09 වනදා පොලිසිය විසින් අරගලය වාර්ථාකරණයේ යෙදුණු මාධ්‍යවේදීන්ට සිදුකල අමානුෂික ප්‍රහාරය අප දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු. ඒ සිදුවීමට සම්බන්ධ සියලුම පොලිස් නිලධාරීන්ට එරෙහිව මූලික අයිතිවාසිකම් නඩු පැවරීමට කටයුතු කල යුතුව ඇත.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස සහ පුස්තකාලයට ගිනිතබා විනාශ කිරීමට කිසියම් පිරිසක් කටයුතු කර තිබීම ද අප නින්දා සහගතය. එය සියලු පුරවැසි අරගලකරුවන් දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දැකිය යුතුය.

අපගේ අරගලය ඉතිහාසය තුළ ලියවිය යුත්තේ ලේ වැකි අරගලයක් ලෙස නොවේ. එය ශක්තිමත් නිර්ප්‍රචණ්ඩ ජයග්‍රාහී අරගලයක් ලෙස ඉතිහාසගත කල යුතුය. එය අප පරම්පරාවේ වගකීමකි.

සමස්ත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයම දණ ගස්වන ලද්දේ බයිනෙත්තු වලින් නොව ගාන්ධි නම් කෙසඟ සිරුරැති මිනිසාගේ අවිහිංසාවාදී ධෛර්යය ඉදිරියේ බව අප සියලු අරගලකරුවන් වෙත සිහිපත් කර සිටිමු.

අප මේ අරගලය මේ සියවසේ පරමාදර්ශීම අරගලය බවට පත්කරගත යුතුව ඇත. ඒ සඳහා සෑම විටම අවිහිංසාවාදයේ පමණක්ම හැසිරිය යුතු ලෙස අප සියලු අරගලකරුවන් වෙත සිහිපත් කර සිටිමු.

එමෙන්ම ප්‍රචණ්ඩත්වයේ ගිනි අවුළුවා ඒ තුළින් ඇතිවන අරාජිකත්වය තුළ සිය පටු න්‍යායපත්‍ර දිගහැරීමට කැසකවන සියලු ප්‍රතිගාමී දේශපාලන බලවේගවල අරමුණු හොඳින් හඳුනාගෙන ඒවා පරාජය කිරීමට මිනිස් නිදහස අගයන සියලු පුරවැසි අරගලකරුවන් එකට එක්විය යුතු බව ද අප ඉතා දැඩිව අවධාරණය කර සිටිමු.

අවිහිංසාවාදී අරගලයට ජය!