ආගමන විගමන නිලධාරීන් සේද මාවතෙන් ඉවත්වෙයි!

ආගමන විගමන නිලධාරීන් සේද මාවතෙන් ඉවත්වෙයි!

රටින් පලායාමට අද (12) අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බැසිල් රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ පුෂ්පා රාජපක්ෂගේ ගමන වැළකී ඇත්තේ ඒ මොහොතේ ගුවන් තොටුපලේ රැඳී සිටි සාමාන්‍ය මගීන් සහ කාර්යය මණ්ඩලයේ දැඩි විරෝධය හේතුවෙන් බව ගුවන්තොටුපළ ආරංචි මාර්ග පවසයි.

 කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත අද අලුයම පැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ ආගමන විගමන රාජකාරි කටයුතු වලින් ඊට අදාළ නිලධාරීන් වහාම ඉවත් වී තිබේ.

ආගමන - විගමන නිලධාරීන් ‘සේද මාවත’ හෙවත් ප්‍රභූ පර්යන්තයේ රාජකාරී වලින් ඉවත් වීමත් සමඟ බැසිල් රාජපක්ෂගේ පලා යාමේ උත්සාහය වැළක්වුණු බව සඳහන්ය.

බැසිල් පලා යන ආරංචිය ලැබීමත් සමඟම ඒ වන විට ගුවන්තොටුපළ තුළ සිටින මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.

ඒ හේතුවෙන් ඇතිවූ බිය නිසා බැසිල්ගේ පලායාමේ උත්සාහය වැළකී ඇතිබව සඳහන්ය.

මේ අතර ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ අද (12) පෙ.ව 12 සිට නැවත දැනුම්දෙනතුරු ගුවන්තොටුපළේ සේද මාවත රාජකාරි කටයුතුවලින් ඉවත්වන බවයි.

රට තුළ උද්ගතව පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගත් බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව නිකුත් කර නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.