බොරු චෝදනා ලැබූවන්ට සාධාරණය ඉටුවිය යුතුයි-බැංකු සේවකයෝ කියති

බොරු චෝදනා ලැබූවන්ට සාධාරණය ඉටුවිය යුතුයි-බැංකු සේවකයෝ කියති
සාමකාමී අරගලයක් මගින් අසාධාරණයට ලක් වූ අයට නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක පියවර ගත යුතු බව ලංකා බැංකු සේවක සංගමය පවසයි. 
 
 
අරගලකරුවන් හා ජනමාධ්‍ය මර්දනය නවතන ලෙසට බලකරමින් සිය විරෝධතාවය දක්වන බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංජන් සේනානායකගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
 
එකී නිවේදනයේ මෙසේද සඳහන්ය.
 
 
ඖෂධ, ඉන්ධන, විදුලිය, ගෑස් සහ අත්‍යාවශ්‍ය ආහාර නොමැතිකමත් භාණ්ඩවල පවතින ඉහල මිලත් නිසා අද ජනතාව මුහුණ දෙන බරපතල පීඩනයට විසඳුම් දීමට පවතින රජයට නොහැකි වී ඇති බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට තම තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙස බල කරමින් 2022 ජුලි 9 වන දින ලක්‍ෂ ගණන් වූ ජනතාව කොළඹ කොටුව ජනාධිපති මන්දිරය අවට ක‍්‍රියාත්මක කළ අවිහිංසාවාදී සාමකාමී විරෝධතා හේතුවෙන් ඔවුන් අස්වීමට කටයුතු කරන බව ප‍්‍රකාශයට පත්කර ඇත. 
 
අනීතිකව ඇඳිරි නීතිය පනවා එම සාමකාමී අරගලය මර්දනය කිරීමට පොලීසිය කළ සැලසුම් නීතිවේදීන්ගේ මැදිහත්වීම මත අකුළා ගැනීමට සිදු විය. පොලිස්පතිවරයා විසින් අනීතිකව පනවන ලද ඇඳිරි නීතිය නොතකමින් 2022 ජූලි මස 09 දින ජනතාවට ආදරය කරන සටන්කාමී ජනගගක් කොළඹ නගරයට ඒකරාශී විය. සාමකාමී විරෝධතාවලට පහර නොදෙන ලෙස දේශීය හා විදේශීය සංවිධාන විසින් ඉල්ලා සිටියද නිරායුදව එම සාමකාමී අරගලයේ යෙදුණු  ජනතාවට කඳුළු ගෑස්, ජල ප‍්‍රහාර එල්ල කිරීමටත්, වෙඩි ප‍්‍රහාර එල්ල කිරීමටත් පොලීසිය හා හමුදාව කටයුතු කරන ලදී. එම සියළු බාධකයන්ට මුහුණ දී තම ජීවිත පරදුවට තබමින් එම ජනතාව සිය ජයග‍්‍රහණය ලබා ගැනීමට සමත් විය.
 
එසේම එදිනම කොළඹ 7 ප‍්‍රදේශයේදී අගමැතිවරයාගේ පුද්ගලික නිවස අසල තිබුණු විරෝධතාවයක් වාර්තා කිරීමට ගිය සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදීන්ටද විශේෂ කාර්ය බලකායේ නිළධාරීන් විසින් ඉතා අමානුෂික පහරදීමක් සිදුකරන ලදී. විශේෂයෙන්ම එක් කාන්තා මාධ්‍යවේදිණියකට පොලිස් භටයන් විශාල පිරිසක් එක්ව බිම දමා පහරදීම ඉතාම පහත් ක‍්‍රියාවක් බව පැවසිය යුතුය. තවද එදිනම රාත‍්‍රි කාලයේදී යම් කිසි පිරිසක් අගමැතිවරයාට අයත් එම නිවසට ගිනි තබා ඇති අතර, දැන් පොලිසිය විසින් එම ගිනි තැබීමේ චෝදනාව අරගලකරුවන්ට පටවමින් ඔවුන් අත්අඩංගුවට ගෙන සිරගත කිරීමට සැලසුම් කරමින් සිටී. මේ වන විටද පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති බව අපට දැනගන්නට ඇත.
 
මැයි 9 දින ගෝල්ෆේස් පිටියේදී පොලිසියේ ඉහල නිළධාරීන්ගේද අනුදැනුම ඇතිව හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂ ප‍්‍රමූඛ දේශපාලන නායකයන් විසින් මෙහෙයවන ලද පිරිස් විසින් කරන ලද පහරදීම් සම්බන්ධව එම චූදිතයන් නිදැල්ලේ සැරිසරන අතරවාරයේ එම පිරිස්වලට ප‍්‍රතිප‍්‍රහාර එල්ලකරන ලද අරගලකරුවන් බොරු චෝදනා දමා සිරගත කරන ලද’. ඒ ආකාරයටම ජුලි 9 දින සිද්ධිය සම්බන්ධයෙන්ද පොලිසිය විසින් කරනු ලබන්නේ බොරු චෝදනා ඉදිරිපත්කර අරගලකරුවන් මර්දනය කිරීමකි. 
 
පොලීසිය විසින් සිදුකරනු ලබන මෙම මර්දනකාරී කටයුතු වහාම නවත්වන ලෙසට බලකරමින් 2022 ජූලි මස 11 වන දින පොලිස් මූලස්ථානය ඉදිරිපිට විරෝධතා පිකට් උද්ඝෝෂණයක් පැවැත්වීමටත් අනතුරුව පොලිස්පතිවරයාගේ අනුදැනුම සහිතව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කීපදෙනාගේ සමඟ සාකච්ඡුාවක් පැවැත්වීමටත් අප සංගමයේද නියෝජනයක් සහිත වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව කටයුතු කර ඇත. 
 
2022 මැයි 9 ප‍්‍රහාරය සම්බන්ධයෙන් චෝදනාවට ලක් වී ඇති නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, මහින්ද රාජපක්‍ෂ ඇතුළු අනෙක් පිරිස් වහාම අත් අඩංගුවට ගන්නා ලෙසත්, ජුලි 9 දින ජනපති මන්දිරයේදී නිරායුධ ජනතාවට වෙඩි තැබූ නිලධාරීන්ට සහ අගමැතිවරයාගේ නිවස අසලදී නිරායුධ මාධ්‍යවේදීන්ට අමානුෂිකව පහර දුන් නිළධාරීන් අත් අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසටත් දැනට බොරු චෝදනා මත අත් අඩංගුවට ගෙන සිටින අරගලකරුවන් වහා නිදහස් කරන ලෙසටත් අප බලකර සිටීමට කටයුතු කළෙමු. එසේම ඉහත කරුණු ඉටුකරන ලෙස බලකරමින් කවෘත්තීය සමිති නායකයින් අත්සන් තබන ලද ලිපියක් පොලිස්පතිවරයා වෙත බාරදීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ අවධානය යොමු නොවන්නේ නම්, තවත් සාමකාමී අරගලයක් මගින් අසාධාරණයට ලක් වූ අයට නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක පියවර ගන්නා බව අවධාරණය කර සිටිමු.