දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමණිල්ලක්

දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමණිල්ලක්

2022 ජුලි මස 09 වන දින දුම්රිය ධාවන කටයුතු හදිසියේ නවතා දැමීමට දුම්රිය බලධාරීන් අත්තනෝමතික ලෙස කටයුතු කිරීමට තීරණය කිරීම මත ප්‍රධාන දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහාසුතාවයට පත්වීම හා ඔවුන්ගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමණිල්ලක් ඉදිරිපත්කර තිබේ.

2022 ජුලි මස 08 වන දින රාත්‍රි පොලිස්පතිතුමා විසින් කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 04 ක් ආවරණය වන පරිදි පොලිස් ඇඳිරි නීතිය පැනවීමත් සමඟ දුම්රිය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් 2022 ජුනි මස 08 වන දින මධ්‍යම රාත්‍රියේ සිට රට පුරා සියලු ම දුම්රිය ගමන් වාර අවලංගු කිරීමට පළමු ව තීරණය කර තිබුණි. එයට අප සංගමය දැඩි විරෝධය ප්‍රකාශ කල අතර ඉන් අනතුරුව නාවලපිටිය හා අනුරාධපුර කොට්ඨාසයේ පමණක් ප්‍රාදේශීය දුම්රිය ධාවනය කිරීමට දුම්රිය සාමාන්‍යාධිකාරී විසින් නියෝග ලබා දෙන ලදී.

පොලිස් ඇඳිරි නීතිය පැනවීම පිළිබඳ ව සමාජයේ යම් අපැහැදිලි තාවයක් තිබුණ ද එය අදාළ නොවන ප්‍රදේශ වල දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම පිළිබඳ ව අප විරෝධතා ප්‍රකාශ කරන ලදී. එදින අලුයම පොලිස් ඇඳිරි නීතිය පැනවූ කොළඹ කොට්ඨාසයෙන් පිටත සිට කොළඹ බලා ගමන් ආරම්භ කිරීමට නියමිත ව තිබූ දුම්රිය ගමන් වාර 80 කට අධික ප්‍රමාණයක් අවලංගු විය.

එමෙන්ම අලුයම ගමන් ආරම්භ කිරීමට නියමිත දුම්රිය ධාවනය නොකිරීම නිසා අනුරාධපුර, ගාල්ල, මාතර, අවිස්සාවේල්ල හා මහනුවර යන දුම්රිය ස්ථානවල එම අවස්ථාවේ සේවයේ නියතු දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි පීඩනයකට ලක් වීම මගින් ඔවුන්ගේ මානව හිමිකම් කඩවිය.

අප සාමාජිකයන්ගේ මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සංගමය විසින් අද දින මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති තුමා වෙත ලිඛිත ව පැමිණිලි කිරීමට කටයුතු කරන ලදී.