නව පාලන තන්ත්‍රයට අවහිර කලොත් බලාගෙනයි -  රජයේ වෛද්‍යවරන්ගේ සංගමය

නව පාලන තන්ත්‍රයට අවහිර කලොත් බලාගෙනයි -  රජයේ වෛද්‍යවරන්ගේ සංගමය

මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති කාල රාමුව තුල නව පාලන තන්ත්‍රයක් බිහිවීමේ අවස්ථා අවහිර කිරීමට යම් පාර්ශවයන් කටයුතු කරයි නම් ඊට එරෙහිව සංගමයේ මධ්‍යම කාරක සභාව කැඳවා ගත හැකි හා ගත යුතු උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලද බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ,

රටේ පවතින වත්මන් සමාජ ආර්ථික අර්බුදය හරහා සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලද අභියෝග ගණනාවක් මතුව ඇති බව නොරහසකි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංවිධානයක් ලෙස මෙම අර්බුදකාරි අවස්ථාවේ අප සංගමයේ සාමාජිකත්වය වෙනුවෙන්ද, සමස්ථ සෞඛ්‍ය පද්ධතිය වෙනුවෙන්ද අප සතු වගකීම අමතක කළ නොහැක.

කෙසේ නමුත් පවත්නා තත්ත්වය සමස්ථ රටේම සමාජ ආර්ථික අර්බුදයක් වී ඇති මොහොතක වෘත්තීයවේදින්ගෙන් සැදුම්ලත් සංගමයක් ලෙස ඒ සම්බන්ධයෙන් හඩ අවදි කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප සතු යුතුකම හා වගකිම සාමාජිකත්වයේ අපේක්ෂාවන්ද ඉටුවන පරිදි සම්පූර්ණ විය යුතු බව පැහැදිලිය.

අප මීට පෙරද අවධාරණය කළ පරිදි මෙම අඳුරු හා අභාග්‍ය සම්පන්න තත්ත්වය ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් පවා ඉටු කිරීමට අපොහොසත් වූ වර්තමාන අසමත් පාලකයින් විසින් නිර්මිත බව නැවතත් සිහිපත් කරමු.

රටේ සමස්ථ මතය වනුයේ කාල රාමුවක් සහිත ජාතික න්‍යාය පත්‍රයක් වෙනුවෙන් පෙනී සිටින සියලු පාර්ශව වගකීම් දරන නව පාලන තන්ත්‍රයක් බිහි විය යුතු බවයි.

ඒ සදහා ඉඩදීම වත්මන් පාලකයන්ගේ වගකීම බවට අප කළ දැනුම් දීම යලි යලිත් අවධාරණය කරමු.

ඵෙතිහාසික මහජන අරගලයක ප්‍රතිඵලයක් ලෙස මේ වන විට අදාල කටයුතු සඳහා දින වකවානු නියම වෙමින් පවතියි.

කෙසේ නමුත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අප නිරීක්ෂණය කරනුයේ මෙම අවසන් මොහොතේ පවා විවිධ කණ්ඩායම් ජාතික න්‍යාය පත්‍රය පසෙක දමා තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් සාක්ෂාත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බවයි. ඒ සම්බන්ධයෙන් වන වගකිවයුත්තන්ගේ එකිනෙකට පරස්පර ප්‍රකාශ මහජනතාව තුල වික්ෂිප්තභාවයක් නිර්මාණය කර ඇති බව පෙනී යයි. රට තුල තවදුරටත් අවිශ්වාසය ව්‍යාප්ත කිරීම සඳහා මෙම වගකීම් විරහිත හැසිරීම් හේතු වෙමින් පවති.

නව පාලන තන්ත්‍රයක් සඳහා දැනට ප්‍රකාශ වී ඇති කාල රාමුව දෙස පවා අවිශ්වාසයකින් යුක්තව බැලීමට සිදුව ඇත්තේ මෙම පසුබිම තුලය.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිවයින පුරා පිහිටි ශාඛා සංගම් හරහා මේ වන විට පවතින තත්ත්වය සම්බන්ධයෙන් අප විසින් ගත යුතු පියවර පිළිබඳ යෝජනා රාශියක් ඉදිරිපත් වී ඇත. ඒ සියල්ල සමාලෝචනය කර සංගමයක් ලෙස අපගේ ඉදිරි පියවර පිළිබඳ තීරණ ගැනීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව අද දින රැස්වෙන ලදී.

එහිදි සියලු කරුණු ඉතා ගැඹුරින් අධ්‍යනයන කර අවසන් තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීමට තීරණය විය.

  1. එළඹෙන විසදුම් සියල්ල නීතියේ ආධිපත්‍ය සුරැකෙන ජනතා පරමාධිපත්‍යයට ගරු කරන විසදුම් විය යුතු බව බලධාරීන්ට අවධාරණය කළ යුතු බව.
  2. ජනතාවගේ මූලික අවශ්‍යතාවයන් ඉටු කිරීම ඉලක්ක කර ගත් කෙටිකාලීන වැඩපිලිවෙළක් සඳහා නව පාලන තන්ත්‍රයක ප්‍රමුඛතාවය හිමි විය යුතුය.
  3. කුමන ආර්ථික ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වුවද නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය රැකගැනීම සඳහා බිහි වන නව පාලන තන්ත්‍රය කටයුතු කළ යුතු බව.
  4. නව පාලන තන්ත්‍රය තුල සියලු මට්ටම් වල පත් කිරීම් සිදු කිරීමේදි වගකීම් දැරිය හැකි හා වගවීමේ සිද්ධාන්තයට ගරු කරන, දුෂිත ක්‍රියාවන් සඳහා චෝදනා එල්ල නොවු පුද්ගලයින්ට ප්‍රමුඛතාව ලබා දීම.
  5. ඒ ඒ ක්ෂේත්‍ර වල වෘත්තීයවේදි කාණ්ඩ වල විද්වත් මතයන් හා තාක්ෂණික දැනුමට ගරු කරමින් ඉදිරි තීන්දු තීරණ ප්‍රකාශයට පත් කිරීම.

ඉහත මූලික සංකල්පයන්ට ගරු කරමින් බිහිවන නව පාලන තන්ත්‍රයක ජාතික න්‍යාය පත්‍රයක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස උපරීම සහයෝගය ලබා දීමට තීරණය විය.

කෙසේ නමුත් මේ වන විට ප්‍රකාශයට පත්ව ඇති කාල රාමුව තුල නව පාලන තන්ත්‍රයක් බිහිවීමේ අවස්ථා අවහිර කිරීමට යම් පාර්ශවයන් කටයුතු කරයි නම් ඊට එරෙහිව සංගමයේ මධ්‍යම කාරක සභාව කැඳවා ගත හැකි හා ගත යුතු උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග කරා යොමු වීමට විධායක සභාව ඒකමතිකව තීරණය කරන ලදී.