අරගලකරුවන් පක්ෂ නායක රැස්වීම ඉල්ලු බව කියන නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලයි

අරගලකරුවන් පක්ෂ නායක රැස්වීම ඉල්ලු බව කියන නම් ලැයිස්තුව ප්‍රකාශයට පත්කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලයි

අරගලකරුවන් විසින් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවක් ඉල්ලූ බවට වන වාර්තා සම්බන්ධව අරගලය නියෝජනය කරමින් 25 දෙනකු පක්ෂ නායක රැස්වීමකට සහභාගී වන බවට ජනමාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණු අතර, එම පක්ෂ නායක හමුව ඉල්ලා සිටියේ කවුරුන් විසින්ද යන්නත්, ඒ සඳහා සහභාගී වීමට නම් ලැයිස්තු ඉදිරිපත් කළේ කවුරුන් විසින්ද යන්නත් හෙළිදරව් කරන ලෙසත්,  එම ව්‍යාජ නම් ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසත් ඉල්ලා තරුණ ජනමාධ්‍යෙව්දීන්ගේ සංගමය විසින් කතානායකවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,  

අරගලකරුවන් විසින් පක්ෂ නායකයන් සමඟ සාකච්ඡාවක් ඉල්ලූ බවට වන වාර්තා සම්බන්ධවයි

අරගලය නියෝජනය කරමින් 25 දෙනකු පක්ෂ නායක රැස්වීමකට සහභාගී වන බවට ජනමාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබුණු අතර එම නම් ලැයිස්තුව බව කියන ලැයිස්තුවක් දුරකතන අංකද සමග සමාජ මාධ්‍යවල පවා හුවමාරු වන ආකාරය දක්නට ලැබිණි. එම ලැයිස්තුවේ මාගේ නමද තිබෙන බව පක්ෂ නායකයන් කිහිප දෙනකුගෙන් මෙන්ම සමාජ මාධ්‍යවල හුවමාරුවෙන ලැයිස්තුවෙන්ද මට දැන ගන්නට ලැබිණි.

පක්ෂ නායකයන් සමඟ රැස්වීමකට සහභාගීවීමට මම හෝ මා සාමාජිකයත්වය දරණ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කිසිම පක්ෂ නායකයකුගෙන් හෝ ඔබගෙන් හෝ වෙනත් කිසිම කෙනකුගෙන් ඉල්ලීමක් කර නැත. මාගේ නම පක්ෂ නායකයන් හමුවීමේ ලැයිස්තුවකට ඇතුළත් කරන බව මට හෝ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට කිසිම දැනුම්දීමක් කර නැත.

රාජපක්ෂවරුන්ගේ අපරාධ, වංචා දූෂණ සම්බන්ධයෙන් ජනමාධ්‍යවේදියකු ලෙස මමත්, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අප සංගමයත් අරගල කරන්නේ අද ඊයෙක සිට නොව වසර ගණනාවක සිටය. මෑතතක අරගලය ආරම්භ වූ දිනයේ සිට පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා සහ අරගලකරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මා සාමාජිකයත්වය දරණ තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීම, අන්තර් ජාතික සංවිධානවලට පැමිණිලි කිරීම, පොලිසියට පැමිණිලි කිරීම, අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම ඇතුළු ක්‍රියාමාර්ග රාශියක් සිදු කළ අතර අවස්ථානුකූලව උද්ඝෝෂණ සංවිධානය කිරීම සහ වෙනත් පාර්ශ්ව සංවිධානය කරන විරෝධතාවලට සහභාගී වීම ද සිදු කළේය.

මෙම අරගලය එක් අයකුගේ දෙදෙනකුගේ අරගලයක් නොව ලක්ෂ ගණනක පුරවැසියන්ගේ අරගලයක් හෙයින් එම අරගලයේ අයිතිකාරිත්වය ගැනීමට කිසිවකුට අයිතියක් නැතැයි යන තීරණයේ සිට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කිසිම අවස්ථාවක අරගලයේ නායකයන් ලෙස පෙනී සිටින්නේ නැත. ලක්ෂ ගණනක ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු ගැන ඉදිරියේදී පත්වෙන ආණ්ඩු ගැන විශ්වාසය තබා ආණ්ඩු පිහිටුවීමට සහාය දීමට තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කිසිසේත්ම ඉදිරිපත් වන්නේ නැත. මේ සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ ස්ථාවරය පැහැදිලිව ඉදිරියේදී නිකුත් කරනු ඇත.

එසේ තිබියදී පක්ෂ නායකයන් හමුවීමට යෑම සදහා මාගේ නම ලබා දුන්නේ කවුරුන් විසින්ද යන්න බරපතල ගැටලුවක් පවතී. ව්‍යාජ ලේඛන සකස් කර කිසියම් කණ්ඩායමක් අරගලකරුවන් සහ සංවිධාන අපකීර්තියට පත් කිරීමට උත්සාහ කරන්නේද යන්න අප සැකසහිතය.

එසේ හෙයින් මෙම පක්ෂ නායක හමුව ඉල්ලා සිටියේ කවුරුන් විසින්ද යන්නත්, ඒ සඳහා සහභාගී වීමට නම් ලැයිස්තු ඉදිරිපත් කළේ කවුරුන් විසින්ද යන්නත් හෙළිදරව් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු. එම ව්‍යාජ නම් ලැයිස්තුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලෙසත් දැනුම් දෙමු.