අර්බුදය විසඳීමට මහජන සභාවෙන් යෝජනා ඉදිරිපත් කරයි

අර්බුදය විසඳීමට මහජන සභාවෙන් යෝජනා ඉදිරිපත් කරයි

පූජ්‍ය පක්ෂ්‍ය, වෘත්තීය සමිති, සිවිල් සංවිධාන හා විද්වතුන්ගෙන් සැදුම්ලත් මහජන සභාව විසින් පවතින අර්බුදය හමුවේ වහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශයන් පිළිබඳ මහජන සභාවේ කැඳවුම්කාර මණ්ඩලය විසින් පහත යෝජනා ඉදිරිපත් කරනු ලැබ ඇත.

1. වගකීමක් සහිතව දුන් පොරොන්දු අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය යටතේ ඉල්ලා අස්වීමේ ලිපියක් 13 වනදා ජනාධිපතිවරයා නො එවීම ගැන අප පිළිකුල සහ අප්‍රසාදය පල කරන අතර, එය අප්‍රමාදව එවන ලෙස බල කර සිටිමු.

2. දැනට නිවේදනය කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන වගන්තිය සහ අදාළ පනතේ විධිවිධාන අනුව අනුප්‍රාප්තික ජනාධිපති පත් කර ගැනීමේ ක්‍රියාදාමය කිසිදු ප්‍රමාදයකින් හෝ බාධාවකින් තොරව ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිමු.

3. අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු අතර, රාජ්‍ය කටයුතු අඛණ්ඩව කරගෙන යෑමට හැකි වන ලෙස හැකිතාක් ඉක්මනින් අනුප්‍රාප්තිකයෙකු සහ නව අමාත්‍ය මණ්ඩලයක් පත් කර ගන්නා ලෙස සියලු පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටිමු.

4. පාර්ලිමේන්තුවේ නියෝජනය වන පක්ෂවල එකඟතාවයන් සැලකිල්ලට ගනිමින් රටේ තත්ත්වය සන්සුන් කිරීම සඳහා විරෝධතාකරුවන් සහ සියලුම මහජන ජනතාව කටයුතු කළ යුතුය.

5. ඉහත සඳහන් කටයුතු අප්‍රමාදව ඉෂ්ට කිරීමෙන් රට සාමකාමී තත්වයකට ගෙන ඒම දේශපාලන සහ සමාජයීය නායකත්වයේ මෙන්ම අරගලකරුවන්ගේ ද අරමුණ සහ වගකීම විය යුතුය. කිසිම පාර්ශවයකින් හෝ දියත් කෙරෙන ප්‍රචණ්ඩත්වය අනුමත කල නොහැකි අතර, සියලු අවස්ථාවනදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ රටේ නීතියට ගරු කරමින් කටයුතු කිරීමේ වැදගත් කම අවධාරණය කරමු.

6. රාජ්‍යයේ මර්මස්ථාන අත්පත් කර ගැනීමේදී විවිධ අකටයුතුකම් යටගැසීම සඳහා වැදගත් ලිපි ලේඛන අවතැන් කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට ඇති ඉහල සම්භාව්‍යතාවය සැලකිල්ලට ගනිමින් එවන් කටයුතුවලින් වැලකී සිටින ලෙසත්, දැනට අල්ලාගෙන ගෙන සිටින ගොඩනැගිලි අදාළ බලධාරීන්ට නැවත බාර දෙන ලෙසත් ඉල්ලා සිටිමු.