අරගලභූමියට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළාකිමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

අරගලභූමියට එල්ල කළ අමානුෂික ප්‍රහාරය තරයේ හෙළාකිමු - නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

රනිල් වික්‍රමසිංහ මහතා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස පත්ව පැය 24ක් ගතවීමටත් මත්තෙන්, (22.07.2022) දින අලුයම ගෝල්ෆේස් අරගලභූමියට ආරක්ෂක හමුදා යොදවා එල්ල කළ අමානුෂික හා පිළිකුල් සහගත ප්‍රහාරය නිදහස් මාධ්‍ය ව්‍යාපාරය තරයේ හෙළාදකී. මෙහිදී අදාළ සිදුවීම් වාර්තා කළ දෙස් විදෙස් මාධ්‍යවේදීන්ටත්, සමාජ මාධ්‍යවේදීන්ටත් පහර දී ඇති අතර මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණවලටද හානි සිදු කර තිබේ. මාධ්‍යවේදීන්ට සිදු වී ඇති පහරදීම් හා හානි පිළිබඳ මෙතෙක් සම්පූර්ණ තොරතුරු ලැබී නැත. ගෝල්ෆේස් අරගලභූමියට ප්‍රවේශ වන සියලු මාර්ග අහුරා ඇති අතර උදෑසන වන විටත් එහි ඇතුළු වීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලැබී නැත.

හමුදා ප්‍රහාරකයින් පූජ්‍ය පක්ෂයට, කාන්තාවන්ට හා ආබාධිත ප්‍රජාවට පවා අමානුෂික ලෙස පහරදුන් බවත්, විශාල පිරිසක් ප්‍රහාරවලින් තුවාල ලබා සිටින බවත්, තුවාලකරුවන් රැගෙන යෑමට පවා ආරක්ෂක අංශ බාධා කර ඇති බවත් අරගලභූමියෙහි සිටි මාධ්‍යවේදීහු ප්‍රකාශ කරති. නීතිඥ නුවන් බෝපගේ ඇතුළු කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර ඔවුන් පිළිබඳ වැඩි දුර තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී තිබේ.

මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර තිබියදීය. මේ ආකාරයේ සන්නද්ධ බලයක් යෙදවීමට අවශ්‍ය වාතාවරණයක් එහි කිසිසේත්ම නොපැවති බව පැහැදිලිය. එමෙන්ම මෙය ලංකාව පත්ව ඇති අවාසනාවන්ත ඉරණම තවදුරටත් උත්සන්න කරන අමනෝඥ ක්‍රියාවකි.

මෙම ප්‍රහාරය පුරවැසියන් සතු සාමකාමීව උද්ඝෝෂණය කිරීමේ අයිතියද ඇතුළත් අදහස් පළ කිරීමේ අයිතිය, වධහිංසාවලට ලක් නොවීමේ අයිතිය, ජනමාධ්‍යවේදීන්ට බාධාවකින් තොරව සිය වෘත්තියෙහි නිරත වීමේ අයිතියද ඇතුළු මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව තරයේ අවධාරණය කරන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ජනමාධ්‍ය හා නීති ප්‍රජාව සමඟ එක්ව ඊට එරෙහිව ගත හැකි සියලු නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කරයි.