විදුලි බලමණ්ඩලය පාඩු ලබන්නේ මහා පරිමාන දූෂණ හා නිලධාරින්ගේ වරප්‍රසාද හා ඉතා ඉහල වැටුප් නිසා

විදුලි බලමණ්ඩලය පාඩු ලබන්නේ මහා පරිමාන දූෂණ හා නිලධාරින්ගේ වරප්‍රසාද හා ඉතා ඉහල වැටුප් නිසා

විදුලිබල මණ්ඩලයේ වියදම් ඉහළ ගොස් ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම නිසාම පමණක් නොව, ලංවිම වියදම් ඉහළ යන්නේ ඉංජිනේරුවන් සහ ඉහළ පරිපාලකයින් විදුලිබල මණ්ඩලයේ වියදමින් අනවශ්‍ය දීමනා, වරප්‍රසාද හා ඉතා ඉහළ වැටුප් ලබා ගැනීමත් කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලයේ ඔඩු දුවා ඇති මහාපරිමාන දූෂණ නිසා බවත්, 75 කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට කොමිසන් සභාව විසින් ලංවිමට දෙන ලද අනුමැතිය වහා අත්හිටුවන ලෙසත් ඒ සමග සියලු ශ්‍රේණිවල ඉංජිනේරුවන්ගේ සහ ඉහළ පරිපාලන නිළධාරීන්ගේ වත්මන් මාසික වැටුප්, ඔවුන් ලබන විවිධ දීමනා හා වෙනත් වරප්‍රසාද පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රසිද්ධ කරන ලෙසත් “ජනතා ආර්ථිකයක් සඳහා වන සමාජ ව්‍යාපාරය” විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපතිවරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කර ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසන් සභාව විසින් පාරිභෝගිකයින්ගේ විදුලිය ගාස්තු මෙම අගෝස්තු 10 වන දින සිට දළ වශයෙන් සියයට 75 කින් වැඩි කරන්නට ලංකා විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලබා දුන් බවට ඉකුත් 09 දින ප්‍රධාන ප්‍රවෘත්ති මාධ්‍ය වාර්තා කළේය. එහි කාණ්ඩගත ගාස්තු වැඩි කිරීම් අතර, සියයට 264 දක්වා ගාස්තු ඉහළ දමා ඇති කාණ්ඩත් ඇත.

මෙය අතිශය හිතුවක්කාර ගාස්තු වැඩි කිරීමක් යැයි පළමුවෙන්ම කිව යුතුය. පසුගිය ජුනි මාසයේ සියයට 269 ක විදුලිය ගාස්තු වැඩි කිරීමක් සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබුණු බවද මතක් කළ යුතුය.

මෙවර විදුලිය ගාස්තු වැඩි කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසන් සභාව සිය අනුමැතිය ලබාදීම සාධාරණය කරන්නේ මෙය වසර 09 කින් සිදුකරන පළමු ගාස්තු වැඩි කිරීම යැයි කීමෙනි. රුපියල අවප්‍රමාණය වූයෙන් 2001 න් පසු ලංවිම වියදම් ඉතා සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයිද කරුණු දැක්වීම් කෙරෙන්නේය.

"ලංවිම වියදම් මෙතරම් ඉහළ යෑම පිළිබඳව මෙය අවධාරණයෙන් යුතුව කිව මනාය. විදුලිබල මණ්ඩලයේ වියදම් ඉහළ ගොස් ඇත්තේ රුපියල අවප්‍රමාණය වීම නිසාම නොවේ. ලංවිම වියදම් ඉහළ යන්නේ ඉංජිනේරුවන් සහ ඉහළ පරිපාලකයින් විදුලිබල මණ්ඩලයේ වියදමින් අනවශ්‍ය දීමනා, වරප්‍රසාද හා ඉතා ඉහළ වැටුප් ලබා ගැනීමත් කාලයක් තිස්සේ විදුලිබල මණ්ඩලයේ ඔඩු දුවා ඇති මහපරිමාන දූෂණ නිසාත් යැයි අපි කියමු."

එවැනි එක් දූෂණයක් මීට දෙසතියකට පමණ පෙර, ජුලි 31 වන දින “ද අයිලන්ඩ්” පුවත් පත වාර්තා කළේය. එයට අනුව බරපතල ආර්ථික අර්බුදය හමුවේ විදුලි කප්පාදුවකට සහ දරුණු ඉන්ධන හිඟයකට රටම මුහුණ දී සිටියදී විදුලි ජනනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබා ගැනීමට වාණිජ බැංකු වලින් සියයට 30 ට ආසන්න පොලී මත ඉතා කෙටි කාලීන ණය ලබා ගැනීමට සිදුව ඇති විදුලිබල මණ්ඩලයේ කැළණිතිස්ස බලාගාරයේ ඉන්ධන ගබඩාවෙන් ලංවිම ඉංජිනේරුවෝ ඔවුන්ගේ වාහන වලට ඉන්ධන පුරවාගෙන යති.

මෙවැනි විදුලි ඉංජිනේරුවන් ලබා ගන්නා ඉතා ඉහළ වැටුප්, දීමනා හා වරප්‍රසාද ඔවුන් අයුතු ලෙස ලබා ගත්තේ යැයි විවෘත චෝදනා ඇත. ඒ සමග ඉහළ පරිපාලකයින්ද ඊට හවුල් වන්නේ යැයි චෝදනා නැගෙති. පසුගිය කාලයේ ඔවුන් තම “උපයන විට බදු” ගෙවන්නටද පාඩු ලබන විදුලිබල මණ්ඩලයේ මුදල් යොදා ගත් බව පිළිගත් අතර, එය සාධාරණය කරන්නට උත්සාහ දැරුවේ අනෙක් බොහෝ රාජ්‍ය ආයතන වලද එය එසේ කෙරෙන්නේ යැයි කීමෙනි. කවර රාජ්‍ය ආයතනයක වූවත් මහජන මුදල් එළෙස අවභාවිතාවේ යෙදවීම බරපතල වරදක්වන හෙයින් එය කිසිදු සාධාරණය කිරීමකට හේතු නොවන බව විවෘතව කිව යුතුය. එවගේම මහජන ආයතනයක් කාර්යක්ෂමව පවත්වා ගැනීමට නොහැකි ඉහළ වෘත්තිකයින් හා නිලධාරීන් වෙනුවෙන් මහජන මුදල් වැය කිරීමේ සීමාවක් තිබිය යුතු යැයිද, අපි විශ්වාස කරමු. එබැවින් ඔවුන්ගේ නඩත්තුව වෙනුවෙන් ජනතාව වැඩි වැඩියෙන් වියදම් දැරීමට අවශ්‍ය නැතැයිද අපි තරයේ විශ්වාස කරමු.

එබැවින් ලංවිම පාඩු පියවීම වෙනුවෙන් යැයි විදුලිය ගාස්තු වැඩියෙන් ගෙවීමට පෙර, මේ දූෂිත අකාර්යක්ෂම ඉහළ නිලධර පිරිස් වෙනුවෙන් දැනට ජනතාව කෙතරම් වැය කරන්නේදැයි දැන ගැනීමේ අයිතියක් ජනතාවට ඇත. එවගේම මහජන මුදලින් නඩත්තු කෙරෙන මහජන උපයෝගීතා කොමිසන් සභාව සතු මූලික වගවීම ඇත්තේද ජනතාවට බැව් අපි කියමු. එනිසා, අගෝස්තු 10 වන දින සිට පොදුවේ සියයට 75 කින් විදුලිය ගාස්තු වැඩි කිරීමට කොමිසන් සභාව විසින් ලංවිමට දෙන ලද අනුමැතිය වහා අත්හිටුවන ලෙසත් ඒ සමග සියලු ශ්‍රේණිවල ඉංජිනේරුවන්ගේ සහ ඉහළ පරිපාලන නිළධාරීන්ගේ වත්මන් මාසික වැටුප්, ඔවුන් ලබන විවිධ දීමනා හා වෙනත් වරප්‍රසාද පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ප්‍රසිද්ධ කරන ලෙසත් “ජනතා ආර්ථිකයක් සඳහා වන සමාජ ව්‍යාපාරය” වශයෙන් අපි මෙයින් ඉල්ලමු.

ජනතා ආර්ථිකයක් සඳහා වන සමාජ ව්‍යාපාරයේ කැඳවුම්කාර කමිටුව වෙනුවෙන්

  •  නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය
  • ලංකා වතු සේවා සංගමය
  • ලංකා ජාතික වතු කම්කරු සංගමය
  • තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමය
  • සමස්ථ ලංකා ධීවර ජනතා සංගමය
  • අනුරාධ තෙන්නකෝන් - ජාතික ගොවිජන එකමුතුව
  • වේලායුතන් තිනේෂ් කුමාර් - බලය පදනම - බදුල්ල
  • ස්ත්‍රී මධ්‍යස්ථානය
  • ප්‍රජා අධ්‍යාපන මධ්‍යස්ථානය - මාලබේ
  • සමාජ සංවර්ධන ආයතනය - කටුගස්තොට
  • ඌව වෙල්ලස්ස කාන්තා සංවිධානය
  • ලක්බිමේ වම්වරු සහ දියණියෝ
  • කාන්තා සහයෝගීතා පෙරමුණ
  • ධරණි ස්වශක්ති පදනම - ගාල්ල
  • එස්. විශ්වලිංගම් - ආහාර ප්‍රමුඛතා කරගත් තොරතුරු හා ක්‍රියාකාරී ජාලය
  • ශ්‍රී ලංකා ස්වභා සාමූහිකය
  • පරාක්‍රම නිරිඇල්ල - වේදිකා, රූපවාහිනී සහ සිනමා නිර්මාණ ශිල්පී
  • මුදිත කරුණාමුණි - සමාජ ක්‍රියාධර
  • කුසල් පෙරේරා