නොරොච්චෝලේ හදිසි බිඳවැ‍ටුමක්

නොරොච්චෝලේ හදිසි බිඳවැ‍ටුමක්

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රය (Unit 01) මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වී ඇති අතර, මෙම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කරන බව ලංකා විදුලිබල මණ්ඩලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, තවද මේ වනවිට ලක්විජය බලාගාරයේ දෙවන (Unit 02) ජනන යන්ත්‍රයේද අත්‍යවශ්‍ය නඩත්තු (Major Overhaul) කටයුතු මේ දිනවල සිදුකරන බැවින් එහි සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 300ක ප්‍රමාණයද ජාතික පද්ධතියට අහිමි වී ඇත. එමනිසා මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 600ක ප්‍රමාණයක් අහිමි වී ඇත.

මේ තත්ත්වය හේතුකොට ගෙන 2022 අගෝස්තු 16 (අඟහරුවාදා) සිට පැය 03 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍ය වන බව මහජනයා වෙත කාරුණිකව දැනුම් දෙනු ලැබේ.

මේ සම්බන්ධයෙන් සිදුවන අපහසුතාවය පිළිබඳව ලංකා විදුලිබල මණ්ඩලය, විදුලි පාරිභෝගිකයින් වෙත සිය කණගා‍ටුව ප්‍රකාශ කර සිටී.