ඉංජිනේරු සංස්ථා සේවකයින්ට අගෝස්තු වැටුප නෑ

ඉංජිනේරු සංස්ථා සේවකයින්ට අගෝස්තු වැටුප නෑ

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයින් අගෝස්තු මස වැටුප ලබාදෙන ලෙස බලකිරීම ඇතුළු ඉල්ලීම් රැසක් මූලිකරගෙන කොළඹ 2, පිහිටි එම සංස්ථා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට ඊයේ  (29) විරෝධතාවක නිරත විය.

‘උද්ධමනය අහස උසට පඩිය නැතේ නියම දිනට, හොරා කෑවේ ගෙඩිය පිටින් පඩිය දෙන්නේ සලාකයට, ඉදිකිරීම් නතර කළා අපේ රැකියා අහිමි කළා සහ වැඩකළාට පඩි දෙන්නෙ නෑ පාලකයන්ට උත්තර නෑ’ ආදි සටන් පාඨ සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් එහිදී ඉංජිනේරු සංස්ථා සේවකයෝ විරෝධය දැක්වූහ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ නිලධාරියකු කියා සිටියේ, අගෝස්තු මස වැටුප පසුගිය 25 වැනිදා ලැබිය යුතුවුවද, එය මේ දක්වා ගෙවන දිනයක් හෝ බලධාරීන් ප්‍රකාශ නොකරන බවත් ජූලි මස වැටුප කොටස් දෙකකින් ගෙවමින් පසුගිය 25 වැනිදා එහි දෙවැනි කොටස දුන් බවත්ය.

ආණ්ඩුව වසර දෙකක කාලයකට ඉදිකිරීම් නතර කිරීමත්, සමඟ ඉංජිනේරු සංස්ථාවට වැඩනොමැති බව කී එම නිලධාරියා එවැනි තීරණ ගත්තේ නම් ආණ්ඩුවට එහි සේවකයන් සම්බන්ධයෙන් පියවර ගතයුතු බව ද, සඳහන් කළේය.

මෙම ගැටලුකාරී තත්වය පිළිබඳව අධ්‍යක්‍ෂ මණ්ඩලය සේවකයන්ට සාකච්ඡාවක් හෝ නොදී විසඳුමක් නොදෙන බව ද, එම නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේය.