ලංකාවේ ළමා මන්දපොෂණය පිළිබඳ බියකරු ප්‍රකාශයට රජයේ පැහැදිළි කිරීමක් අවශ්‍යයි  

ලංකාවේ ළමා මන්දපොෂණය පිළිබඳ බියකරු ප්‍රකාශයට රජයේ පැහැදිළි කිරීමක් අවශ්‍යයි  

යුනිසෙෆ් සංවිධානයේ කලාපීය අධ්‍යක්ෂවරයා දරුවන්ගේ මන්දපෝෂණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශය පිළිබඳව රජය වහා තම විසඳුම පැහැදිලි කළ යුතු බව ලංකා ගුරු සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, මේ වන විට ශ්‍රී ලංකාව තුළ උද්ගත කර ඇති ආර්ථික අර්බුදය හේතුවෙන් වඩාත්ම පීඩාවට පත්ව සිටින්නේ දරුවන්ය. යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා වන ජෝර්ස් ලාර්යෙයා ඇඩ්ජෙයි මහතා ප්‍රකාශ කරන පරිදි ශ්‍රී ලංකාව ලෝකයේ ළමා මන්දපෝෂණයෙන් 6 වන ස්ථානයේ පසුවෙයි.  විශේෂයෙන්ම නිසි පරිදි පෝෂ්‍යදායී ආහාර නොමැතිකම නිසා දරුවන් කෘෂ භාවයට පත්වීම බරපතල තත්වයක් බව ඔහු අවධාරණය කරයි. එසේම ඔහු සඳහන් කරන්නේ රාත්‍රීයේ කුසගින්නේ දරුවන් නින්දට යන්නේ පසුදිනයේ කුමන ආහාර වේලක් ලැබෙයිද යන බලාපොරොත්තුවෙන් බවයි. යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂවරයා මෙවැනි ප්‍රකාශයක් කර තිබියදී ඒ සම්බන්ධයෙන් වත්මන් රජය මුනිවත රැකීමට බරපතල තත්වයක් වන අතර, ඒ සම්බන්ධයෙන් රජය වහා තම විසඳුම පැහැදිලි කළ යුතුය.

ලංකාව තුළ මෙවැනි තත්වයක් උද්ගත වන්නේ පාලකයන්ගේ අදූරදර්ශී සහ වංචාකාරී පාලනය හේතුවෙන් වන අතර, එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ මෙරට ළමා පරපුරටය. පාසල් දරුවන් ලක්ෂ 43 ක් සිටින අතර, ඉන් ලක්ෂ 11 කට පාසල් දිවා ආහාර වැඩසටහනක් ක්‍රියාත්මක වුවද ඒ සඳහා ලබාදෙන මුදල රු.30/- ක් වීම තුළ එය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වී තිබුණි. මේ වන විට එය රු.60/- ක් දක්වා වැඩි කර තිබුණ ද බිත්තරයක මිල ම රු.60/- කට වඩා මේ වන විට ඉහළ ගොස් ඇත. පවතින ආර්ථික උද්ධමනය හමුවේ එම මිලට දරුවන්ට පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දිය නොහැකි තත්වය තුළ ආහාර සැපයුම්කරුවන් හා පාසල් අතර, අදාළ ගිවිසුම් වලට එළඹීම සිදු නොවීමෙන් මේ වන විට එම දිවා ආහාර වැඩසටහන බරපතල අර්බුදයක පවතී.

සෑම භාණ්ඩයකම මිල 1:3 කට වැඩි අනුපාතයකින් ඉහළ ගොස් ඇති වාතාවරණය තුළ දෙමාපියන්ට දරුවන් පෝෂණය කිරීම බරපතල ගැටලුවක් වී ඇති අතර, දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් මෙය බරපතල ගැටලුවකි. විශේෂයෙන්ම මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් කෘෂ තත්වයට පත්වීම, කුසගින්න, කායික හා මානසික වර්ධනය නිසි පරිදි සිදු නොවීම වැනි තත්වයන් යටතේ නිසි ලෙස විෂය කරුණු ග්‍රහණය කර ගැනීමට නොහැකිවීම, නිරවුල් මානසික තත්වයකින් අධ්‍යාපනයේ යෙදීමට නොහැකිවීම තුළ අධ්‍යාපනය ද බරපතල කඩා වැටීමකට ලක්වෙනු ඇත. මෙය රටේ අනාගත තරුණ පරපුර සම්බන්ධයෙන් මෙන්ම ශ්‍රම බලකාය සම්බන්ධයෙන් ද බියකරු තත්වයකි.

වත්මන් රජය විසින් මෙම ගැටලුවලට විසඳුම් ලබාදීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර නැති අතර, සමස්ත ළමා ප්‍රජාව බියකරු තත්වයක් වෙත තල්ලුකරමින් සිටී. මේ තත්වය තුළ මේ සම්බන්ධයෙන් රජය වහා අවධානය යොමු කොට දරුවන්ගේ පෝෂණ තත්වය නගා සිටුවීමට අවශ්‍ය කඩිනම් වැඩපිළිවෙලක් සැකසිය යුතු අතර, එසේ කටයුතු කළ නොහැකි, මේ තත්වයට දරුවන් පත්කළ රනිල් - රාජපක්ෂ රජය වහා ඉවත්විය යුතු බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටී.