සෞඛ්‍ය අමාත්‍යංශය මිඩ්වයිෆ්ලාගේ කකුලෙන් අදියි

සෞඛ්‍ය අමාත්‍යංශය මිඩ්වයිෆ්ලාගේ කකුලෙන් අදියි

හෙද පුහුණු පාසලේ ඉඩ නොමැති බව පවසමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් එක්දහස් අටසිය දෙනකු (1800) පුහුණුවට බඳවා ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය තවදුරටත් ප්‍රමාද කරමින් සිටින බව පවුල් සෞඛ්‍ය සේවා

නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය චෝදනා කරයි. මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා

නිලධාරිනියන් තුන්දහසක් බඳවා ගැනීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර පවුල්

සෞඛ්‍ය සේවාවේ පුහුණුව සඳහා නිලධාරිනියන් දෙදහස් අටසීයයක් (2800) තේරී පත්ව තිබේ. මින් නිලධාරිනියන් දහසක් (1000) මෙලෙස පුහුණුව සඳහා හෙට (5 වැනිදා) බඳවා ගැනීමට නියමිතය. එම පිරිසද මීට වසර පහකට පමණ පෙර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තොරා ගැනීමට අදාළ විභාගයට පෙ නී සිටි අය වෙති.

එසේ වුවද හෙද විදුහලේ ඉඩ ප්‍රමාණවත් නොවීම නිසා ඉතිරි එක්දහස් අටසීයක නිලධාරිනියන් පුහුණුව සඳහා බඳවා ගැනීමට⁣නොහැකි බවට සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී ඇත. සෞඛ්‍ය අමාත්‍යංශයේ ඇති ක්‍රියාපටිපාටියේ දුර්වලතා හේතුවෙන් මෙම බඳවාගැනීම් මෙලෙස ප්‍රමාද කිරීම සමග ඉදිරියේදී මාතෘ සහ ළමා සෞඛ්‍ය සේවාවන් සඳහා දැඩි බලපෑම්වලට ලක් විය හැකි බව පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු වැඩිදුරටත් පැවසුවාය.

මේ වන විට පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් තුන්දහස් අටසීයකගේ හිඟයක් පවතියි.

(අරුණ)