සෞඛ්‍ය අමාත්‍යංශය රසායනවේද යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩර් මාෆියාවක ?

සෞඛ්‍ය අමාත්‍යංශය රසායනවේද යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩර් මාෆියාවක ?

තමන්ට හිතෛෂී සමාගමට අවස්ථාව නොලැබීම හේතුවෙන් ජීව රසායනවේද ස්වයංක්‍රීය යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය අත්හිටුවීමට උත්සහ දැරීම පිළිබඳව, වෛද්‍ය රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රීයක සහ උපකරණ මිලදී ගැනීමට අදාලව ඉතා දරුණු ලෙස ව්‍යාප්තව ඇති තාක්ෂණික මාෆියාව පිළිබඳව නිසි අවධානය යොමු කරන ලෙසත්, කෙසේ හෝ තමන්ට හිතෛෂී සමාගමක් වෙනුවෙන් රැකවරණය ලබා දීම සඳහා විශේෂඥතාවය භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසත්, ඉල්ලා සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියා සිටින්නේ, මෙම ටෙන්ඩරය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගන්නා පිළිවෙත කෙරෙහි, අප දැඩි විමසිල්ලෙන් පසු වන බවයි.

තමන්ට හිතෛෂී සමාගමට අවස්ථාව නොලැබීම හේතුවෙන් ජීව රසායනවේද ස්වයංක්‍රීය යන්ත්‍ර මිලදී ගැනීමේ ටෙන්ඩරය අත්හිටුවීමට උත්සහ දැරීම

රෝහල් සදහා අවශ්‍ය ප්‍රතිශක්තික ජීව රසායනවේද ස්වයංක්‍රීය යන්ත්‍ර 10ක් මිලදී ගැනීම සඳහා  අදාල විශේෂඥයින්ගේ ප්‍රධානත්වයෙන් සිදුවූ ප්‍රසම්පාදන හා තාක්ෂණික ඇගයීම්වලින් අනතුරුව, 2020 වසරේ ඉදිරිපත් කරන ලද ටෙන්ඩරයකට අනූව යන්ත්‍ර මිලදී ගැනීමට අදාල කටයුතු වසර දෙකකට පමණ පසුව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවසන් කොට ඇත.

කෙසේ නමුත්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා අංශය,  අදාලා සියළු කටයුතු සිදු කර, සැපයුම්කරුවෙකු තොරාගැනීමෙන් අනතුරුව,  එම ටෙන්ඩරයට අදාල මිලදී ගැනීම අත්හිටුවීමට  උත්සහා ගනිමින් සිටින බවත්, ඊට අදාලව පිළිගත නොහැකි ' 'තාක්ෂණික බොරු'  කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්, අප සංගමය වෙත තිරතුරු වාර්තා වී ඇත.

රසායනාගාර ප්‍රතික්‍රීයක හා උපකරණ මිලදී ගැනීමේදී විශාල මාෆියාවක් ක්‍රියාත්මක වන අතර, තමන්ට හිතෛෂී සමාගම් සදහා අවස්ථාව ලබා දීම තාක්ෂණිකව පවරා ගත් බලතල අනිසි ලෙස භාවිත කිරීමත්, එසේ කල නොහැකිවන අවස්ථාවන්හීදී විවධ අනියත හේතු දක්වමින් එම ටෙන්ඩර් පටිපාටි අවුල් කරමින් අහෝසි කර දැමීම දක්වා ව්‍යාකූල කරවීමත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ  රසායනාගාර සේවා අංශයෙහි පිළිවෙත වී ඇත.

යතොක්ත ප්‍රතිශක්තික ජීව  රසායන ස්වයංක්‍රීය යන්ත්‍ර 10ට අදාල ටෙන්ඩරය අහෝසි කිරීම සඳහා රසායනාගාර සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේද සෘජු මැදිහත්වීම ලැබී තිබෙන බවක් පෙනෙන්නට තිබෙන අතර, ඊට එරෙහිව නඟමින් තිබෙන ව්‍යාජ තර්ක සඳහා විශාල වලංගුභාවයක් ලබා දීමට ඔහු විසින් කටයුතු කර තිබීම මඟින් රසායනාගාර සේවාවේ අත්‍යාවශ්‍ය උපකරණ හා ප්‍රතික්‍රීයක නොලැබී යන තත්වයක් ඇතිවී තිබේ.

ඒ අනූව මෙකී උපකරණ වලට අදාල ටෙන්ඩරය අහෝසි කිරීම සඳහා රසායනාගාර විශේෂඥ වෛද්‍යවරුන් කිහිපදෙනෙක් විසින් මතු කර ඇති කරුණු සහ ඒවායේ හරසුන් ව්‍යාජත්වය පිළිබදව පහත කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමු කරවමි.

සමූහ මිලදී ගැනීම් (Bulk Purchase / Centaral Purchase  ප්‍රතික්ෂේප කරන බව හැඟවීම

රෝහල් රසායනාගාර සඳහා සමූහ මිලදී ගැනීම් (Bulk purchasing) ලෙස මිලදී ගනිමින් බෙදාහරින ක්‍රමවේදය, කාලාන්තරයක් තිස්සේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නැංවීමට උත්සහ දරන අතිශය වැදගත් ප්‍රතිපත්තියකි. මෙම ක්‍රමය ඖෂධ මිලදී ගැනීමේදී ඉතා සාර්ථකව ක්‍රියාතමක වේ. එක් එක් රෝහල් මගින් යන්ත්‍ර මිලදී ගැනීම හරහා විශේෂඥ වෛද්‍යවරුන් සන්නාම ඒජන්තයන් බවට පත්වී ඇති අතර, විශාල අක්‍රමිකතාවයන් ගණනාවකට ඒ හරහා ඉඩකඩ සලසා දී ඇත.  සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා සියලු මිලදී ගැනීම් සිදු කිරීම හරහ සමාගම් කේවල් කිරීමේ වැඩි බලයක් හිමිවන අතර සමාන මට්ටමේ රෝහල් සඳහා සමාන තත්වයේ උපකරණ පද්ධතියක් හඳුන්වා දීමට හැකිවන නමුත් රසායනාගාර සේවා අංශයෙහි අකාර්යක්ෂම බව හා බය පක්ෂපාතී බව හේතුවෙන් එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වී ඇත.

කෙසේ නමුත්, උක්ත ටෙන්ඩරය එම ප්‍රතිපත්තියට අදාලව 2020 වර්ෂයේදී සැළසුම් කල එකක් වන අතර, වසරක දෙකක පමණ කාලයක් තිස්සේ ටෙන්ඩරයට අදාලවම විශාල  ශ්‍රමයක් සහ ධනයක් වැය කර, අදාල සියළු කටයුතු අවසානයේදී සමාගමක්ද තොරාගැනීමෙන් අනතුරුව, එම මිලදී ගැනීමේ ක්‍රමය සුදුසු නොවන බව, එම කටයුතු වල වසරක් දෙකක පමණ කාලයක් තුල නියැලෙමින් සිටි පාර්ශ්වයන් විසින්ම චෝදනාවක් ලෙස ඉදිරිපත් කිරීම ජුගුප්සාජනකය.

එසේම, ඊට සමාන්තරව සිදු කරනු ලැබූ සාමාන්‍ය ජීවරාසායන යන්ත්‍ර සඳහා එම චෝදනාව ඉදිරිපත් නොකිරීම මඟින්, එය වනාහි තමන්ට හිතෛෂී සමාගම තොරාගැනීමට නොහැකි වීම නිසා ගොඩනඟන තර්කයක් බව ඉතා පැහැදිලිය.

ආර්ථික අර්බුධය  දඩමීමා කර ගැනීම

මෙම උපකරණ මිලදී ගැනීම අත්හිටුවමින් තමන්ට හිතෛෂී සමාගමකට නැවත වටයකින් අවස්ථාව ලබා දීම සඳහා ආර්ථික අර්බුධය දඩමීමා කරගැනීමට උත්සහ කරන බවක්ද පෙනෙන්නට තිබේ. මේ මොහොතේදී එම උපකරණ මිලදී නොගැනීම හරහා අදාල මුදල් ප්‍රතිපාදනය භාවිතයට ගැනීමට නොහැකි තත්වයට පත්වීම සහ වර්ථමාණ මිල ගණන් යටතේ එම යන්ත්‍ර විශාල මිල වැඩිවීමකට ලක්ව තිබියදී, පෞද්ගලික වාසිය සදහා, සේවාවට ලැබෙන එම වාසිය මගහැර දැමීම, රසායනාගාර සේවාවට සිදුවිය හැකි විශාල අගතියකි.

ප්‍රතික්‍රීයක හිගය පිළිබද අතිශෝක්තිය, ප්‍රතික්‍රීයක බිලට නොමැතිවීම

තවද ප්‍රතික්‍රීයක හිඟය හේතුවෙන් නව උපකරණ මිලදී ගැනීම අර්බුධයක් බව පෙන්වා දෙන්නට උත්සහ දරණ එම පාර්ශ්වයන්, දැනට භාවිතා කරන උපකරණ වල ප්‍රතික්‍රීයක මිලට වඩා අඩු මුදලකට නව උපකරණ මඟින් පරීක්ෂණ කිරීමට ඇති හැකියාව පිළිබඳව හෙලිදරව් නොකර සිටීමට වගබලා ගෙන ඇත.

එසේම රෝහල් මට්ටමින් දැනට භාවිතා වන මෙම වර්ගයේ බොහෝ උපකරණ, නියමිත ටෙන්ඩර් පටිපාටියක් හරහා මිලදී ගැනීමකින් තොරව, වැඩි ප්‍රතික්‍රීයක මිලකට ස්ථානගත.කල ඒවාය.

එසේම වඩාත්ම ලාභදායි, තත්වයෙන් උසස් යන්ත්‍රයක් තෝරා ගැනීමට අනු ගමනය.කල හැකි සුදුසුම ක්‍රමය ටෙන්ඩර් පටිපාටියක් හරහා මිලදී ගැනීමක් මිස, පෞද්ගලික නිර්දේශ මත සිදු කරන ලද්දක් නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිගත යුතුය. එබැවින් සියළු සමාගම් වලට සමාන අවස්ථා ලබා දෙමින් ක්‍රියාත්මක වූ ටෙන්ඩරයක් හරහා තෝරා ගන්නා උපකරණයකට වඩා රෝහලක තනි විශේෂඥ වෛද්‍යවරයෙකුගේ බලපෑම මත සිදු කල පරිත්‍යාගයක් හෝ ස්ථානගත කිරීම වඩාත් සඵලදායක බවට තහවුරු කිරීම විහිළු සහගතය. පෞද්ගලිකව තමන්ට වුමණා සමාගම ඩෙන්ඩර පටිපාටිය හරහා තෝරා ගැනීමට නොහැකිවීම මඟින්, ඔවුන් විසින්ම සකස් කල ප්‍රසාම්පාදනයට අදාල, වඩා තිරසාර උපකරණ වර්ගය වන්නේ එකී ටෙන්ඩරය හරහා තෝරාගත් උපකරණ බව සෞඛ්‍ය අමාත්‍යාංශ සහ අදාල පාර්ශ්වයන් විසින්ම පිළිගෙන තිබෙන කරුණකි.

ප්‍රතික්‍රීයක බිල අඩු කර ගැනීම

රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රීයක මිල අඩුකරගැනීම පිළිබඳව දිඟින් දිඟටම පෙනී සිටින පාර්ශ්වයක් ලෙස ඒකක පරීක්ෂණ ගාස්තු පිළිබඳව මූලික අවබෝධයක් ලබා ලැනීම සඳහා අදාල සමාගම් කිහිපයක ප්‍රතිශක්තික ජීවරසායන පරීක්ෂණ ඒකක මිල මිල පිළිබදව දල සංසන්දනයක්  පහතින් දක්වමු. නිශ්ච්ත තොරතුරු සපයා ගනිමින් මෙකි සන්සන්දනය නැවත සිදු කර, ගැටළුවේ යතා ස්වරූපය නිවැරදිව තහවුරුකර ගන්නා ලෙසද කාරුණිකව ඉල්ලමු.

උක්ත කරුණු සැලකිල්ලට ගෙන වෛද්‍ය රසායනාගාර සේවාවේ ප්‍රතික්‍රීයක සහ උපකරණ මිලදී ගැනීමට අදාලව ඉතා දරුණු ලෙස ව්‍යාප්තව ඇති තාක්ෂණික මාෆියාව පිළිබඳව නිසි අවධානය යොමු කරන ලෙසත්, කෙසේ හෝ තමන්ට හිතෛෂී සමාගමක් වෙනුවෙන් රැකවරණය ලබා දීම සඳහා විශේෂඥතාවය භාවිතා කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසත්, ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටිමු.

එසේම, මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගන්නා පිළිවෙත කෙරෙහි, අප දැඩි විමසිල්ලෙන් පසු වන බවද කාරුණිකව දන්වා සිටිමු.