පමා වූ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවන්න කැබිනට් අනුමැතිය ලැබිලා

පමා වූ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවන්න කැබිනට් අනුමැතිය ලැබිලා
මෙතෙක් පමාවී තිබූ රජයේ සේවකයන්ගේ විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීම ස‍ඳහා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
 
මේ අනුව, 2021 වර්ෂයට අදාළව මේ වනවිට ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික ගෙවීම සඳහා අවශ්‍ය අරමුදල් මහා භාණ්ඩාගාරය විසින් මෙම වසරේ ඔක්තෝබර් මාසය අවසානයට පෙර විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ලබා දීමටද, 2022 වර්ෂය සඳහා ගෙවිය යුතුව පවතින විශ්‍රාම පාරිතෝෂික මුදල් ගෙවීම සඳහා අවශ්‍ය වන අරමුදල් ප්‍රමාණය මාස 6ක් තුළ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම සඳහාද අනුමැතිය ලබා දී ඇත.
 
එමෙන්ම මෙම විශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමේ ක්‍රමවේදය තිරසාරව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර යෝජනාවලියක් ඉදිරිපත් කිරීම සඳහා, හය දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි විය.
 
එම කමිටුවේ සභාපතිත්වය මහා භාණ්ඩාගරයේ ලේකම් විසින් නම් කරනු ලබන භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකුට හිමිවෙයි.
 
ලේකම් වශයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම් විසින් නම් කරනු ලබන අදාළ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු කටයුතු කළ යුතුය.
 
මෙම කමිටුවේ සෙසු නිලධාරීන් වන්නේ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් විසින් නම් කරන එම අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙක්, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සහ භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාය.
 
විශ්‍රාම පාරිතෝෂිකය සම්බන්ධයෙන් වන මෙම කමිටුවේ නිර්දේශ සහිත වාර්තාව, මාසයක් තුළ, මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා මගින්, අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
 
පසුගිය කාලය පුරා රට තුළ පවතින ආර්ථික අස්ථායිතාව හමුවේ, රජයේ නිලධාරීන් විශ්‍රාම ගැනීමෙදී ඔවුන්ට ගෙවනු ලබන විශ්‍රාම වැටුප් පාරිතෝෂිකය ගෙවීමට රජයට හැකියාව ලැබුණේ නැත. 
 
කෙසේවුවද මෙම පාරිතෝෂිකය නොගෙවීම හේතුවෙන් විශ්‍රාමික ප්‍රජාව විශාල පීඩනයකින් පසුවූ අතර ඒ සම්බන්ධයෙන් වන මැසිවිලි රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට ද නිරන්තරයෙන් ඉදිරිපත් විය.
 
මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අදාළ පාරිතෝෂිකය ගෙවීමට, අමාත්‍ය මණ්ඩල සංදේශයකින් අනුමැතිය ඉල්ලා සිටියේය. 
 
ඒ අනුව කරුණු අධ්‍යයනය කරන ලද අමාත්‍ය මණ්ඩලය, පවතින ආර්ථික තත්ත්වයද සැලකිල්ලට ගනිමින් ඊට අනුමැතිය ලබාදී තිබේ.