වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතුවන අභියෝග ජය ගත හැක්කේ කෙසේද?

වෛද්‍යවරුන් රට හැර යාම හරහා මතුවන අභියෝග ජය ගත හැක්කේ කෙසේද?

ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයකින් තොරව විදේශ ගත වීමට නිර්මාණය වී ඇති ප්‍රවණතාවය හා වෛද්‍යවරුන් ප්‍රමුඛ කර ගත් වෘත්තියවේදීන් රට හැර යාම කලින් කලට රටේ අවධානය දිනා ගන්නා ප්‍රමුඛ මාතෘකාවක් බවට පත්ව ඇති බව රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, බුද්ධි ගලනය හෙවත් උගත් පරපුරක් තම රටේ ශ්‍රම බලකායෙන් ඉවත්ව වෙනත් රටක සේවය සඳහා යොමු වීම සාමාන්‍ය තත්ත්වයක් යටතේ රටක ඉදිරි ගමනට ඍණාත්මකව බලපාන බව පොදුවේ පිළිගත් සිද්ධාන්තයකි.

මෑත කාලීනව මෙරට වෛද්‍යවරුන් අසාමාන්‍ය ඉහල ප්‍රමාණවලින් රට හැර දමා විදේශ ගත වීමේ ප්‍රවණතාවය පිළිබඳ මේ මොහොතේ අවධානය යොමු කල යුත්තේ මේ පසුබිම තුලය.

පසුගියදා ජන මාධ්‍ය වාර්තා කල පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ආරංචි මාර්ග අනුව මේ වර්ෂයේ ගත වූ මාස 8 තුළ පමණක් වෛද්‍යවරුන් විදේශ ගත වීම සඳහා ඉදිරිපත් කල යුතු මූලික ලියවිල්ලක් වන යහපත් වෘත්තීයභාවය පිළිබඳ වූ සහතික (Good standing certificates - GSC) වෛද්‍ය සභාව වෙතින් ලබා ගත් මුලු ගණන 2206 කි.

පසුගිය වසර කිහිපයක දත්ත සන්සන්දනය කිරීමේදී මෙම අගයේ පැහැදිලිව ඉහළ යාමක් නිරීක්ෂණය වෙයි.

 උදා:    2019 – 1218

           2020 – 1081

           2021- 1350

වෛද්‍ය සභාව වෙතින් GSC සහතික ලබා ගන්නා සියලු දෙනා ස්ථිර ලෙස රට හැර යන බව නොකියවෙන බව මෙහිදී අමතක නොකළ යුතු මුත් දිවයින පුරා රෝහල් වලින් ලැබෙන තොරතුරු අනුව මේ වන විට මතුව ඇති ප්‍රවණතාවය සනාථ වෙයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දිවයිනේ සියලු ප්‍රධාන රෝහල් ආවරණය වන පරිදි පසුගිය සතිය තුල සිදු කළ සමීක්ෂණයක් අනුව සමස්තයක් ලෙස 2022 වසර තුල මේ වන විට රට හැර ගිය වෛද්‍යවරුන් ගණන 500 කට ආසන්නය.(477 කි.)

වඩාත් බැරෑරුම් කරුණ නම් මෙලෙස රට හැර යන ඇතැම් වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යංශයේ පාලනයකින් තොරව විදේශ ගත වීමට නිර්මාණය වී ඇති ප්‍රවණතාවයයි. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස පසුගිය මාස කිහිපය තුල මෙලෙසින් රට හැර ගිය වෛද්‍යවරුන් 50 කට අධික පිරිසකට සේවය අතහැර යාමේ නිවේදන නිකුත් කිරීමට සිදු වීමෙන් මතුව ඇති තත්ත්වයේ බැරෑරුම් බව පෙන්නුම් කරයි.

ඒ අනුව පාලනයකින් තොරව සිදුවන මෙම කටයුත්ත පාලිත තත්ත්වය යටතට ගෙන ඒමට බලධාරීන් වහාම පියවර ගත යුතුය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මඟින් ජේෂ්ඨත්වයට බලපෑමක් නොවන පරිදි විදේශ රැකියාවක් සඳහා යොමු වීමට සමස්ත රාජ්‍ය සේවකයින්ට ලබා දී ඇති පහසුකම ප්‍රයෝගික ලෙස ක්‍රියාත්මක කළ හැකි, වසර 5 ක් දක්වා වූ විශේෂ නිවාඩු චක්‍රලේඛය සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් වහා නිකුත් විය යුතුය. රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සිට මාස 2 කට අධික කාලයක් ගතව ඇති මුත් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යංශයේ චක්‍රලේඛය නිකුත් කිරීමට නොහැකිවීම පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බලවත් විරෝධය පළ කරමු.

සෞඛ්‍ය පද්ධතියත් බරපතල කඩා වැටීමකින් තොරව පාලිත තත්ත්වය යටතේ වෛද්‍යවරුන්ට මෙම අවස්ථාව ලබා දීම සඳහා මෙම චක්‍රලේඛය නිකුත් වීම අනිවාර්ය කොන්දේසියක් වෙයි.

රට තුළ පවතින දරුණු ආර්ථික අර්බුදයටත්, විදේශ විනිමය පිළිබඳ දැඩි හිඟයටත් යම් විසදුමක් ලබා දීම සඳහා මෙලෙසින් යම් සීමාවක් තුල වෛද්‍යවරුන් විදේශ රැකියා සඳහා යොමු කිරීම ඉවහල් වන බව පෙන්වා දෙමු.

එමෙන්ම දිවයින පුරා ඇති රෝහල් පද්ධතිය  හා එයින් ලබා දෙන සේවාවන් පිළිබද නිසි තක්සේරුවක් සිදුකර, සේවා කඩාවැටීමකින් තොරව විදේශ රැකියා සඳහා යොමු කල හැකි උපරිම වෛද්‍යවරුන් සංඛ්‍යාව පිළිබද දල අදහසක් සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස වහා ඉදිරිපත් කල යුතුය.

එලෙසින් විදේශ ගත වන වෛද්‍යවරුන් විසින් රට තුලට ලබාදෙන විදේශ විනිමය සඳහා  නිසි වටිනාකමක් දෙන වැඩපිළිවෙලක්ද නිලධාරීන් විසින් ප්‍රකාශයට පත්කල යුතුය. විශ්වාසයකින් යුතුව තමන් උපයන මුදල් අප රට තුලට යොමු කිරීමට  මේ අනුව  එලෙස විදේශ ගත වන පිරිස් කටයුතු කරනු ඇත.

අප අවබෝධ කර ගත යුතු අනෙක් කරුණ නම් මෙම වැඩපිළිවෙලට සමගාමිව රට තුළ රැදී සිට රට වෙනුවෙන් තම  යුතුකම හා වගකීම ඉටු කිරීමේ අභිලාශය සහිත බහුතරයක් වූ වෛද්‍ය ප්‍රජාව රට තුළ රදවා ගැනීම සඳහා  වූ වැඩපිළිවෙලක්ද  බලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු බවයි.

රට තුල පැවති උතුරු  නැගෙනහිර යුද්ධ වාතාවරණය තුලද අප මේ මොහොතේ අත්දකින අත්දැකීමකට සමාන අත්දැකීම් වලට මුහුණ දුන්නද  යුද්ධයෙන්  පසු වෛද්‍යවරුන් රට තුල රදවා ගැනීම සඳහා පැවති රජය විසින් ලබාදුන් දිරිගැන්වීම හරහා සමස්ථ සේවා පද්ධතියේ දියුණුවට සිදු වූ මෙහෙවර මෙහිදී  අනිවාර්යයෙන්ම අප ආදර්ශයට ගත යුතුය. යුද්ධයෙන් පසු වසර 5 ක් වැනි කාලයක් තුල රට තුල විශේෂඥ වෛද්‍යවරුන් සංඛ්‍යාව තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහල යාමේ ප්‍රතිලාභ අවසානයේ උරුම වූයේ  සමස්ථ මහජනතාවට බව සිහිපත් කල යුතුය.

රටට විදේශ විනිමය රැගෙන ඒම අරමුණු කරගත් වෛද්‍යවරුන් විදේශ රටවල රැකියා සඳහා යොමු කිරීමේ සංවිධානාත්මක වැඩපිළිවෙල සඳහා මෙන්ම, රට තුල රැදී සිටීමේ අපේක්ෂාවන් සහිත බහුතරයක් වූ වෛද්‍යවරුන් රට තුල රඳවා ගැනීම සඳහා බලධාරීන් ඉදිරිපත්  කරන සාධනීය වැඩපිළිවෙලක් සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංගමයේ කොන්දේසි  විරහිත සහයෝගය‍ ලබා දීමට කටයුතු කරමු.