මස්කෙළිය වැවිලි සමාගමේ වතු කම්කරුවන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්

මස්කෙළිය වැවිලි සමාගමේ වතු කම්කරුවන්ගෙන් වෘත්තීය ක්‍රියාමාර්ගයක්
මස්කෙලිය වැවිලි සමාගමට අයත් තේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය කරනු ලබන තේ කුඩු තේ වෙන්දේසිය සඳහා යැවීමට එම වතු වල පදිංචි වතු කම්කරුවන්ගෙන් විරෝධය එල්ලවෙමින් පවතින බව වාර්තා වේ.
 
රජය මගින් වතු කම්කරුවන්ට දිනකට වැඩි කළ රු. 1000 වැටුපක් ගෙවන ලෙසට වැටුප් පරිපාලක සභාව මගින් චක්‍රලේඛයක් නිකුත් කර තිබියදිත්, මස්කෙලිය වැවිලි සමාගම විසින් වතු කම්කරුවන්ට එම අනුමත වැටුප නොගෙවා වතු කම්කරුවෙකු දිනකට නෙලන අමු තේ දළු කිලෝවක් සදහා රු 40 ක දිමනාවක් පමණක් ගෙවන නිසා වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් එම වතු සමාගම පුරා ක්‍රියාත්මක කිරිමට කටයුතු කෙරෙමින් තිබේ.
 
මස්කෙලිය වැවිලි සමාගම විසින් වැටුප් පරිපාලක සභාවේ නියෝගය නොපිළිපදිමින් නෙලන තේ දළු ප්‍රමාණයට පමණක් දිමනාවක් ගෙවීම තුළින් වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වය සහ අයිතිවාසිකම් රැසක් අහිමි වි ඇති බවත්, මේ සම්බන්ධයෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ වෘත්තිය සමිති සමග සාකච්ඡා කිරිමට පැමිණෙන ලෙසට අවස්ථා  කිහිපයකදි මස්කෙලිය වැවිලි සමාගමේ ඉහළ පාලන අධිකාරියට දැනුම් දුන්නද ඔහුන් එම සාකච්ඡාව සඳහා නොපැමිණීම නිසා මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ගත් බවයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් කියා සිටියි.
 
මස්කෙලිය වැවිලි සමාගමේ තේ වතු වල දෛනික වැඩකටයුතු වලට වතු කම්කරුවන් වාර්තා කළද, තේ වෙන්දේසිය සඳහා තේ පෙට්ටි රැගෙන යාමට එම වතුයායවල් වල වතු කම්කරුවන් වතු පාලන අධිකාරියට ඉඩ ලබා නොදෙන බව ලංකා කම්කරු කොන්ග්‍රසයේ ජෙෂ්ඨ උප සභාපති කනපති කනගරාජ් වැඩිදුරටත් කියා සිටියි.