බැංකු සේවකයින් සී.අයි.ඩී කැඳවයි - සේවක සංගමයෙන් අවධාරණයක්

බැංකු සේවකයින් සී.අයි.ඩී කැඳවයි - සේවක සංගමයෙන් අවධාරණයක්
විරෝධතා ව්‍යාපාර දඩමීමා කරගනිමින් ස්වකීය වෘත්තීය ක්‍රියාධරයින්ට එරෙහිව මර්දනයක් දියත් කර ඇති බවත්, එයට බැංකු අභ්‍යන්තරයෙන්ම යම් පිරිස් සම්බන්ධව ඇති බවට සැක පළ කරන බවත් ලංකා බැංකු සේවක සංගමය පවසයි.
 
එහි ප්‍රධාන ලේකම් රංජන් සේනානායකගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක මේ බව දැක්වෙයි.
 
එහි මෙසේද සඳහන්ය.
 
 
පසුගිය ජූලි මස 09 හා ඉන්පසු ගෝල්ෆේස් අරගලය හා සමගාමී සිදුවීම් පදනම්කර ගනිමින් විමර්ශනයන් සිදුකිරීම සඳහා මේ වනවිට ජාතික ඉතිරිකිරීමේ බැංකුව බුද්ධි වෙත්තසිංහ සහෝදරයා ඇතුළු විධායක සභාවේ හතර දෙනෙකු සී.අයි.ඞී වෙත කැඳවා ඇති අතර තවත් ක්‍රියාකාරීන් 15 දෙනෙකුට කැඳවීම් කිරීමට නියමිත බව අප වෙත විශ්වාසවන්ත ආරංචි මාර්ග මගින් වාර්තා වී ඇත.
 
මේ සඳහා කැඳවා ඇති පිරිස හා ඔවුන් පිළිබඳව සී. අයි. ඞී. ය වෙතින් කර ඇති විමසීම් සලකා බැලීමේ දී මෙය බැංකුව අභ්‍යන්තරයෙන්ම දියත්ව ඇති කුමන්ත‍්‍රණකාරී වැඩ පිළිවෙළක් ලෙස පිළිගත හැකි බොහෝ සාධක දක්නට ඇත. 
 
2022-07-13 දින අග‍්‍රාමාත්‍ය කාර්යාලය තුළට අරගලකරුවන් විසින් බලහත්කාරයෙන් ඇතුළු වී දේපළ සොරකම් කිරීම සහ අලාභහානි සිදුකිරීම, යන සිදුවීමට අදාළව විමර්ශනය සඳහා කැඳවීම සිදුකළ ද,  2022-07-09 වැනි දින හා ඊට පෙර සිදුවීම් සම්බන්ධයෙන් ද ප‍්‍රශ්න කිරීම් සිදුකර ඇත.
 
අප සංගමය හා එහි ක‍්‍රියාකාරීන් අරගලය තුළ සක‍්‍රීයව සිටි බව රහසක් නොවන අතර අප එම කර්තව්‍යයන් තුළ නිරත වූයේ වෘත්තීය සංගමයක් ලෙස අප ගත් නිල තීන්දු අනුව වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයට අදාළ වපසරිය තුළ  මිස සාහසික අපරාධකාරී හෝ ත‍්‍රස්තවාදී ක‍්‍රියාවක් ලෙස නොවන බව අවධාරණය කළ යුතුය.
 
 
 රට තුළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළින් ස්ථාපිත රැස්වීම් හා භාෂණයේ නිදහස භාවිත කරමින් රටේ සමාජයීය, ආර්ථික හා දේශපාලන පරිවර්තනයක් සඳහා වූ සාමගාමී අරගලයේ කොටස්කරුවන් ලෙස අප කටයුතු කළ ද, එය මෙලෙස සී. අයි. ඞී. යට කැඳවා ප‍්‍රශ්න කිරීමට තරම් අපරාධ වරදක් බවට පරිවර්තනය වූයේ කෙසේ ද යන්න උදේ හවා ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන වැදි බණ දෙසන ආණ්ඩුවේ බලධාරීන් වෙතින් අපි විමසා සිටිමු. 
 
මෙම සහෝදරවරුන් අතරින් බොහොමයක් දෙනා පැමිණිලිවල සඳහන් දිනයන්හී අදාළ ස්ථානයේ අසලකවත් නොසිටි අයවළුන් වන අතර, ඒ අනුව මෙය හුදෙක්ම අරගලය මුවාවෙන් අප ශාඛා සංගමය මර්දනය කිරීමට අටවන ලද අවස්ථාවාදීන්ගේ කුමන්ත‍්‍රණයක් බව ඉතා පැහැදිලිව පෙනී ගොස් ඇත.
 
පසුගියදා අරගලය මුවාවෙන් ලංකා බැංකු ශාඛා සංගමයේ නායක සහෝදරවරුන් වෙත මර්දනයේ හස්තය දිගුකළ ආකාරයටම මෙම ක‍්‍රියාමාර්ගය පිටුපස ද සැඟවුන අමුත්තන් සිටින අතර ඉදිරියේ දී ඔවුන් සියලූදෙනා සමාජය ඉදිරියේ නිරාවරණය කිරීමට අප පසුබට නොවෙමු.
 
සාධාරණ හා යුක්ති සහගත ජන අයිතීන් වෙනුවෙන් වෘත්තීය සංගමයක් ලෙස පෙනී සිටීම තුළ මෙවන් නින්දිත ආකාරයේ මර්දනයක් බැංකු සේවක ප‍්‍රජාව වෙත දියත් කරන්නේ නම් එයට එරෙහිව නිසි පිළිතුරු සැපයීමට අප කටයුතු කරන බව ද සියලූ වගකිවයුත්තන් වෙත අවධාරණයකර සිටිමු.
 
 රටේ ආර්ථිකය බරපතළ අර්බුදයක පවතින මෙවන් අවස්ථාවක ආර්ථිකයේ මර්මස්ථානවන බැංකු පද්ධතිය තුළ කාර්මික සාමය කඩවන තත්ත්වයක් දක්වා කටයුතු කිරීමට කවුරුන් හෝ උත්සාහ දරයි නම් ඔවුන් එමගින් බැංකු ක්‍ෂෙත‍්‍රය තුළ ඉදිරියට ඇතිවිය හැකි අර්බුදයන්හී වගකීම බාරගත යුතු බව අප අවධාරණයකර සිටිමු.
 
මේ වනවිට ජාතික ඉතිරිකිරීමේ බැංකු සහෝදරවරු සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරමින් නිසි උපදෙස් අනුව අවශ්‍ය කටයුතු කිරීමට අප පියවරගෙන ඇති අතර අවශ්‍ය  ඕනෑම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක් වෙත එළඹීමටත් සංගමය තීරණය කර ඇත. සැප්තැම්බර් 28 වැනි දින කැඳවා ඇති විධායක සභාවේ දී ඒ වනවිට පවතින තත්ත්වය අනුව සංගමයේ සියලූ ශාඛා සංගම් සම්බන්ධකර ගනිමින් දැඩි වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගවලට එළඹීමට ද තීන්දුකර ඇත.