භාෂණයේ අයිතියට වැටබඳින රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය අකුලා ගන්නා ලෙස ඉල්ලයි

භාෂණයේ අයිතියට වැටබඳින රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛය අකුලා ගන්නා ලෙස ඉල්ලයි

ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට නිදහසේ අදහස් පල කිරීමේ නැතිනම් භාෂණයට ඇති අයිතිය පාගා දැමීමට තව දුරටත් උත්සහ කරන්නේ නම් එවැනි පන්නයේ සියලූම උත්සහයන් පරාජය කිරීමට පසුබට නොවන අතර රාජ්‍ය සේවකයින් බිය වද්දන මෙවැනි චක්‍රලේඛ වහා අකුලාගන්නා ලෙස ආණ්ඩුවට අවධාරණය කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, රජයේ නිලධාරීන් විසින් සමාජ මාධ්‍ය ජාලාවෙත අදහස් ප්‍රකාශ කිරීම යන මැයෙන් 04/2022 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයක් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 2022. 09. 27 දින නිකුත් කර ඇත.

රාජපක්‍ෂ පවුල ඇතුළු කණ්ඩායම විසින් රට බංකොළොත් කර රටේ මිනිසුන්ට ජීවත්වීමට නොහැකි තත්වයක් උදා කළ පසු එම තත්වය ඊට වඩා වේගයෙන් රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ඉදිරියට ගෙන යමින් සිටින බව සියලූ දෙනාට පැහැදිලිය.

රටේ බහුතර ජනතාවට ජීවත්වීමට තරම් අවම ආහාරපාන සකසා ගැනීම දුෂ්කර වී ඇත. කුඩා දරුවන්ගේ පෝෂණ මට්ටම පහළ වැටී මන්දපෝෂණ තත්වයක් පිළිබඳ බරපතල සාකච්ඡාවක් පවතී. වරාය, විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව ඇතුලූ ජාතික සම්පත් රැකගෙන ගොඩනගා ඩොලර් උපයනවා වෙනුවට විකුණා ඩොලර් ප්‍රමාණයක් සොයාගැනීමට කටයුතු කරමින් රාජ්‍ය සම්පත් රටට අහිමි කිරීමට ආණ්ඩුව ක‍්‍රියා කරමින් සිටී.

IMF කොන්දේසිවල සංවේදී කරුණු සඟවා තබාගනිමින් පාලකයින් රාජ්‍ය සේවකයින් 30% ක් ඉවත් කිරීමට සූදානමක් පවතින බව වාර්තා වී ඇත. පෞද්ගලික අංශ සේවකයින් වන්දි නොදී සේවයෙන් ඉවත් කිරීමට හැකි වන පරිදි අණපනත් සංශෝධනයකට අර අඳිමින් සිටී. 2016 පසු වැටුප් වැඩි නොවූ රාජ්‍ය සේවකයින්ට අද රට තුල ඇති අධි උද්ධමන තත්වය හමුවේ ජීවත්වීමට නොහැකි වී ඇත. අවම මට්ටමින් හෝ ජීවත්වීම සඳහා පාලකයින් වැඩකරන ජනතාවට දීමනාවක් හෝ මේ මොහොතේ ලබාදිය යුතුව ඇත. ලබා නොදෙන්නේ නම් ඒ සඳහා සටනක්ද අවශ්‍යය.

අද ආණ්ඩුවත්, රජයේ ඉහළ නිලධාරීනුත් කල යුත්තේ වැඩකරන ජනතාව ඇතුලූ පොදු ජනතාවගේ ප්‍රශ්න විසඳීමය. නමුත් ප්‍රශ්න විසඳීම වෙනුවට ආණ්ඩුව තෝරාගෙන ඇත්තේ මර්දනය, බියවැද්දීම් වැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාමාර්ග පමණි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් නිකුත් කර ඇති ඉහත චක්‍රලේඛයේ කිසිදු අලූත් කරුණක් නැත. රාජ්‍ය, අර්ධ රාජ්‍ය සේවකයින්ට බලපාන ආයතන සංග්‍රහය තුල දේශපාලන හිමිකම් සහිත රාජ්‍ය සේවකයින් හා දේශපාලන හිමිකම් නොමැති රජයේ ඉහළ නිලධාරීන් සිටී. දේශපාලන හිමිකම් අහිමි රාජ්‍ය නිලධාරීන්ට මෙම බාධාව අඛණ්ඩව පැවති අතර එය අලූතින් චක්‍රලේඛ නිකුත් කර අවධාරණය කළයුතු එකක්දැයි ප්‍රශ්න කරමු. එසේනම් අදාළ ලේකම්වරයා ආයතන සංග්‍රහයේ සියලූ කරුණුවලට මෙලෙස චක්‍රලේඛ නිකුත් කළ යුතුව ඇත.

ආණ්ඩුව ප්‍රශ්න කිරීම හා ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පිළිබඳ එල්ලවන විවේචනය වළක්වා ගැනීම සඳහා සමස්ථ රාජ්‍ය සේවකයින් තුළ භීතියක් නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් ආණ්ඩුවේ වුවමනාව මත නිකුත් කළ චක්‍රලේකයක් ලෙස සලකා ආණ්ඩුවේ වුවමනාවත් භාෂණයට ඇති අයිතියට අත තැබීමත් පරාජය කළ යුතුය. ආණ්ඩුවේ වුවමනා වෙනුවෙන්ම පමණක් ඇති තතු නිවැරදිව තේරුම් ගෙන මෙවැනි ගැටළුකාරී චක්‍රලේක මේ මොහොතේ නිකුත් කිරීම සමාජයක් ලෙස අනුමත නොකරන අතර එවැනි අනවබෝධයකින් ක්‍රියා කරන රජයේ ඇතැම් ඉහළ නිලධාරීන් සම්බන්ධයෙන් ජනතා විරෝධයක් මතුවීම වැළැක්විය නොහැකි බවත් යම් සමබරතාවයකින් යුතුව ඊට අදාළ නිලධාරීන් තම වෘත්තීයභාවය රැකගෙන කටයුතු කිරීම වඩා සුදුසු බව සඳහන් කරමු.

කෙසේ වෙතත් රනිල්-රාජපක්‍ෂ ජන පීඩක ආණ්ඩුවේ වැඩපිළිවෙලට එරෙහිව වැඩකරන ජනතාවගේ විරෝධය කට වහලා, අත් බැඳලා නතර කල නොහැකි බව රනිල් වික‍්‍රමසිංහ ඇතුලූ ආණ්ඩුව දැනගත යුතු බවද අවධාරණය කරමු.

වැඩ කරන ජනතාවට ජීවත් වීම සඳහා සහන ලබා දීමට අසමත් මෙම ආණ්ඩුව පන්නා දමා ශක්තිමත් ස්ථාවර නව ජනවරමක් දිනා ගැනීමකින් තොරව ජනතාවට සහන නොමැති බව වැඩ කරන ජනයා අවබෝධ කරගෙන අවසන්ය.

එයට බිය වී ඇති ආණ්ඩුව රාජ්‍ය සේවකයින්ට නිදහසේ අදහස් පල කිරීමේ නැතිනම් භාෂණයට ඇති අයිතිය පාගා දැමීමට තව දුරටත් උත්සහ කරන්නේ නම් එවැනි පන්නයේ සියලූම උත්සහයන් පරාජය කිරීමට පසුබට නොවන අතර රාජ්‍ය සේවකයින් බිය වද්දන මෙවැනි චක්‍රලේඛ වහා අකුලාගන්නා ලෙසත් අපි ආණ්ඩුවට අවධාරණය කරමු.