රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් ගැන රාවයක් - ඇත්ත නැත්ත දැනගන්න

රාජ්‍ය සේවක වැටුප් කප්පාදුවක් ගැන රාවයක් - ඇත්ත නැත්ත දැනගන්න
ලබන මාසයේ සිට රාජ්‍ය සේවකයින්ට වැටුපෙන් අඩක් පමණක් ගෙවන බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන අවධාරණය කරයි.
 
එලෙස රාජ්‍ය සේවකයින්ට අඩක් පමණක් ගෙවන බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පුද්ගලයින් සිදුකරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් ජාතික නාලිකාවක විසින් කරන ලද විමසීමකදීයි ඔහු මේ බව පවසා ඇත.
 
කෙසේ වෙතත්, බද්දේගම ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ද රාජ්‍ය සේවක වැටුප සම්බන්ධයෙන් අදහස් පළ කළ අතර ඔහු එහිදී කියා සිටියේ රාජ්‍ය අමාත්‍යවරයෙකු සඳහා මසකට රුපියල් ලක්ෂ 25 ක් පමණ වැය වන බවයි.
 
එහෙත්, රාජ්‍ය සේවක වැටුපෙන් අඩක් පමණක් ගෙවීම සම්බන්ධයෙන් කිසිදු ආකාරයක සාකච්ඡාවක් සිදුනොවූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සඳහන් කළේය. 
 
ජනතාව කැළඹීමට පත් කිරීම සඳහා ඇතැම් පාර්ශව සිදුකරන මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ද ඔහු පවසා තිබිණි.
 
ආදායම් ලබන රාජ්‍ය ආයතනවලට වැටුප් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශය ප්‍රතිපාදන ලබා නොදෙන අතර ඒ අනුව රාජ්‍ය බැංකු, වරාය, දුම්රිය, ලංගම වැනි ආයතන ඔවුන් උපයන ආදායම්වලින් සේවකයින්ට වැටුප් ලබාදීම සිදුකෙරෙයි. 
 
කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයින්ට නියමිත පරිදි වැටුප් ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් අවධාරණය කළේය.