විශ්‍රාම වයස ගැසට්ටුව රිවර්ස් කිරීමට පක්ෂග්‍රාහී අනුකමිටුවක්

විශ්‍රාම වයස ගැසට්ටුව රිවර්ස් කිරීමට පක්ෂග්‍රාහී අනුකමිටුවක්
  •  එක එක අයට එක එක විශ්‍රාම වයස් තීරණය කලොත් අනිවාර්යෙන්ම වර්ජනයක් කැදවනවා

‍රජයේ සේවයේ විශ්‍රාම වයස අවුරුදු හැට බවට පත් කරන ලද ගැසට්ටුව රිවර්ස් කිරීම සදහා රජය  ඇතැම් පාර්ශව කටයුතු කරමින් සිටින බවත්, ඒ අනූව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ තීරණය වෙනස් කරවීම සදහා අමාත්‍ය අනුකාරක කමිටුවක් පත් කර ඇති අතර, තමන්ට හිතවත් විශේෂඥ වෛද්‍යවරුන් කිහිප දෙනෙකු සමග පමණක් සාකච්ඡා කර, වෛද්‍ය වෘත්තීකයින්ගේ පමණක් විශ්‍රාම වයස 63 දක්වා දීර්ඝ කිරීමේ නිර්දේශයක් 2022. 10. 10 දින අමාත්‍යා මණ්ඩලයට ලබාදීමේ සැලසුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ, සභාපති රවි කුමුදේස් මහතා පවසනවා.

මේ වනවිට විශේෂඥ වෛද්‍යවරුන් තුන්සියයකට අධික ප්‍රමාණයක් අත්සන් කර, විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් තමන්ට සහ තමන්ගේ සේවාවට සිදු විය හැකි හානි පිළිබදව ජනාධිපතිවරයාව පවා දැනුවත් කර තිබියදී, ඒ කිසිවක් නොසලකා, වයස හැට පැන්න එක් විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ වුවමණාවට පමණක් යටවී නිර්දේශ ලබා දීම හරහා අමාත්‍ය මණ්ඩලය නොමග යවා ඇති බවත්, එසේම විශ්‍රාම වයස දිගු කිරීමට වෛද්‍ය නිළධාරීන්ගේ සංගම් රැසක් විරෝධය පල කර තිබියදීත්, එලෙස ගැසට් රිවර්ස් ප්‍රතිපත්තියකට නැවත රජය තල්ලුවීම ගැටලු රැසකට මුල පිරීමක් බව ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

කෙසේ නමුත් වෛද්‍ය වෘත්තීකයින්ට පමණක් විශ්‍රාම වයස දිගු කලහොත් අනෙකුත් සෞඛ්‍ය වෘත්තීකයින්ට බරපතල අසාධාරණයක් වන බැවින්, ඊට එරෙහිව වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය තීරණය කර තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.