සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයකට සැරසෙයි

සෞඛ්‍ය වෘත්තීයවේදීන් වර්ජනයකට සැරසෙයි

විශ්‍රාම වයස් සීමාව සෞඛ්‍ය සේවාවේ එක් වෘත්තියකට අදාලව පමණක් දීර්ඝ කල හොත් ඊට එරෙහිව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ජනාධිපතිවරයා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ වගකිව යුතු අය වෙත ලිපියක් මගින් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය දැනුම්දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, සියළු රාජ්‍ය සේකයන්ගේ විශ්‍රාම වයස් සීමාව උපරිමය අවුරුදු 60 බවට පත්කල රජයේ ප්‍රතිපත්තිය වෙනස් කරමින් සෞඛ්‍ය සේවයේ එක් වෘත්තියකට පමණක් එම වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් කටයුතු කරමින් සිටින බවත් වෛද්‍ය නිළධාරීන්ගේ පමණක් විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව යොමු කර ඇති අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් එම අනුකමිටුව විසින් සැලකිල්ලට ගනිමින් සිටින බවත් අප වෙත වාර්තා වී ඇත.

රටේ ආර්ථික අර්බුධය විසඳීම සඳහා ගනු ලබන තීරණ, අප වෘත්තිකයන්ගේ පෞද්ගලික උවමනාවන්ට වඩා ඉහල තැනක තබමින් රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා මෙතෙක් අප ලබා දුන් සහයෝගය අප සේවාවන් නොසලකා හැරීම සඳහාම යොදා ගැනීම අප තරයේ ප්‍රතික්ෂේප කරන අතර ආර්ථික අර්බුධයට වඩා තමතමන්ගේ පෞද්ගලික හිතවත්කම් ප්‍රමුඛ කර ගනිමින් රජයේ ප්‍රතිපත්ති වෙනස්කර ගනු ලබන්නේ නම් අප සාමාජිකයන් සඳහාද එම වරප්‍රසාදය අනිවාර්යයෙන්ම ලබා දිය යුතු බව ඉතා ඕනෑ කමින් අවධාරණය කරමු.

ඒ අනූව, උක්ත අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව මඟින් ලබා දෙන නිර්දේශ සැලකිල්ලට ගනිමින් හෝ අමාත්‍ය මණ්ඩල තීරණයක් ලෙස සෞඛ්‍ය සේවයේ සියළු වෘත්තීන් එක හා සමානව නොසැලකෙන පරිදි තීරණයක් ගනු ලැබුවහොත් ඊට එරෙහිව සෘජු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව කණගාටුවෙන් යුතුව දැනුම් දෙමු. එසේම උක්ත අමාත්‍ය මණ්ඩල අනුකාරක කමිටුව සහ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වන විටත් අප වෘත්තිකයන් නොසලකා හැර ඇති අතර කිසිඳු අවස්ථාවකදී අප වෘත්තීන්ගේ අවශ්‍යතාවයන් සලකා බලා නොමැත. එනයින් මෙම කමිටුව මඟින් හෝ අමාත්‍ය මණ්ඩලය විසින් සාධාරණ හෝ සමබර තීන්දුවක් ගැනීම පිළිබඳව විශ්වාසයක් තැබිය නොහැකි බැවින් ඒ පිළිබඳව ඔබගේ සෘජු හා කඩිනම් මැදිහත්වීම අනවශ්‍ය ලෙස ඇතිවන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් වලක්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය වන බව කාරුණිකව පෙන්වා දෙමු.