ගාලුමුවදොර කුඩා දරුවන්ට හිංසා කළ පොලිස් නිලධාරින්ට එරෙහිව පැමිණිල්ලක් 

ගාලුමුවදොර කුඩා දරුවන්ට හිංසා කළ පොලිස් නිලධාරින්ට එරෙහිව පැමිණිල්ලක් 

ඔක්තෝම්බර් 09 දින ගාලුමුවදොර පිටියේ දී කුඩා දරුවන්ට හිංසා කළ පොලිස් නිලධාරීන් හා නිලධාරිණියන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද දිනයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලක් ඉදිරිපත් කර බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ඔක්තෝම්බර් 09 දින ගාලුමුවදොර පිටියේ පැවති සාමකාමී විරෝධය අතරතුර පොලිස් අධිකාරීවරු, සහකාර පොලිස් අධිකාරීවරු සහ පොලිස් ස්ථානාධිපතිවරු ඇතුළු පොලිස් නිලධාරීන් හා නිලධාරිණියන් එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට බාධා පමුණුවමින් කලහාරී ලෙස හැසිරිණු අතර, උද්ඝෝෂණයේ යෙදී සිටින පුද්ගලයන් කිහිපදෙනක් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළේය.

එම අවස්ථාවේදී වයස අවුරුද්දක් වන කුඩා දරුවෙක් වඩාගෙන සිටින පියෙකුගෙන් දරුවා උදුරාගැනීමට තැත්කළ අතර එම කලබලයට මැදි වූ දරුවා බියට පත්ව වමනය ඇතුළු සංකූලතා ගණනාවකට ලක්ව 09 වෙනි දා රාත්‍රියේ  රිජ්වේ ආර්චා ළමා රෝහලට ඇතුළත් කෙරුණි.

ඊට අමතරව තවත් ලාබාල දැරියකගේ මව අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරිණියන් පිරිසක් උත්සාහ කළ අතර, එම උත්සාහයේදී බියට පත්ව මව ළඟට සමීප වීමට උත්සාහ කළ දැරිය පසෙකට ඇද දමමින් දැරියට හිංසා වන ආකාරයෙන් පොලිස් නිලධාරිණියන් කටයුතු කළේය.

එසේම උවිදු රාජපක්ෂ නැමති 16 හැවිරිදි පාසල් සිසුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අතර, තම මව සමග පැමිණි දරුවා එම විරෝධතාවය වීඩියෝ ගත කරමින් සිටියේය.

ඊට අමතරව එම ස්ථානයේ සාමකාමීව විරෝධයේ සිටි මෙන්ම ක්‍රීඩා කරමින් සිටි දරුවන් බියට පත් කරමින් හිංසාවට පත් කරමින් පොලීසිය කටයුතු කරනු දක්නට ලැබුණි. මෙම දරුවන් ගාලුමුවදොර පිටියට පැමිණියේ ඔවුන්ගේ දෙමව්පියන් සමග වන අතර, එය ගැටුම් ඇතිවන ස්ථානයක් නොවන අතර, ඉරිදා වැනි නිවාඩු දිනයන් හි දී විශාල පිරිසක් තම නිදහස් කාලය ගත කිරීමට පැමිණෙන ස්ථානයකි. මෙවැනි ස්ථානයක සාමකාමීත්වය නැති කොට කලබල කිරීමේ පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් දරුවන් දැඩි පීඩනයකට හා අනතුරුදායී තත්වයක පත් විය.

මේ පිළිබඳව වහා පරීක්ෂණයක් සිදු කරන ලෙසත්, මෙම සිද්ධියේ දී දරුවන්ට හිංසා කළ පොලිස් නිලධාරීන් හා නිලධාරිණියන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත් ඉල්ලමින් ලංකා ගුරු සංගමය අද දිනයේ ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලක් ඉදිපත් කරන ලදී.