සහන ඉල්ලා රාජ්‍ය සේවා වෘත්තීය සමිති මුදල් ලේකම්ට  ලිපයක් බාරදෙයි

සහන ඉල්ලා රාජ්‍ය සේවා වෘත්තීය සමිති මුදල් ලේකම්ට  ලිපයක් බාරදෙයි

ජීවන වියදම උහුලන්න බෑ - උද්ධමන දීමනාවක් ලබාදෙන ලෙසත්, ප්‍රවාහන දීමනාවක් ලබාදෙන ලෙසත්, බඩු මිල, ඉන්ධන මිල අඩුකර ජනතාවට සහන ලබාදෙන ලෙසත්, අදහස් ප්‍රකාශනයට වැට බදින චක්‍රලේඛ අහෝසි කරන ලෙසත් ඉල්ලා රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති විසින් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලිපියක් බාරදෙන ලදි.

එම ලිපිය පහතින් දැක්වේ.

ඉහළ ගොස් ඇති ජීවන වියදමට සාපේක්ෂව දීමනාවක් ලබා ගැනීම

වර්ථමානයේ රට තුල අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය, ඖෂධ, විදුලිය, ගෑස්, ඉන්ධන සහ පොදු ප්‍රවාහනය ඇතුළු භාණ්ඩ හා සේවා සැපයීම් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, භාණ්ඩ හා සේවා සඳහා මාසික උද්ධමනය 80% ක් දක්වා ද ආහාර උද්ධමනය 90% ක් දක්වා ද ඉහළ ගොස් ඇත. මෙම වසර ආරම්භයට සාපේක්ෂව සියළුම භාණ්ඩ හා සේවා මිළ 250%  කටත් වඩා ඉහළ ගොස් ඇති අතර, බැංකු ණය පොළී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් මාසික වැටුප බැංකු ණය වාරිකයට හිලව් වන තත්ත්වයක් නිර්මාණය වී ඇත. මේ තත්ත්වය තුල මාසික වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ වැටුපෙහි මූර්ත වටිනාකම ක්ෂයවීම මත ඔවුන් ආර්ථික ගැටළු රැසකට ලක්ව පවතී. ඒ සඳහා කඩිනම් සහන සැළසීම රජයේ ප්‍රමුඛ වගකීමක් වන අතර, ඒ සම්බන්ධයෙන් ඔබගේ අවධානය යොමුකරවන්නෙමු.  

  1. ඉන්ධන මිළ ඉහළයාම සමග දුම්රිය, පොදු ප්‍රවාහන බස් ගාස්තු, කුළී රථ ඇතුළු සියලුම ප්‍රවාහන සේවාවන් හි මිල සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් සමාන්‍ය රජයේ සේවකයෙකුගේ මාසික ප්‍රවාහන වියදම දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති අතර, එය ඇතැම් නිලධාරීන්ට ඒ සඳහා මසකට රු  30,000.00 ක් පමණ වැය වේ. කේෂ්‍ත්‍ර රාජකාරීයේ නියුතු රජයේ නිලධාරීන්ට සාමාන්‍ය පරිදි රාජකාරී ඉටුකිරීමට නියමකර තිබුණ ද ඔවුන්ගේ මාසික ප්‍රවාහන දීමනා පවතින ප්‍රවාහන වියදමට සාපෙක්ෂව සංශෝධනය කර නොමැති අතර, ඇතැම් පළාත් සභා විසින් මෙතෙක් ගෙවන ලද ප්‍රවාහන දීමනා ද කපාහැර ඇත.
  2. පදිංචියෙන් බැහැරව තාවකාලික නවාතැන් භාවිතා කරන්නෙකුට නවාතැන් ගාස්තු හා ආහාර සපයා ගැනීමට පමණක් අවම වශයෙන් මසකට රු 30,000.00 පමණ අවම වියදමක් දැරීමට මේ වන විට සිදුව ඇත. එම තත්ත්වයන් තුල අනෙකුත් අවශ්‍යතාවයන් වෙනුවෙන් වැය කිරීමට ඔවුන්ට මුදලක් නොමැති තත්ත්වයක් තුල විශාල පීඩාවකට පත්ව ඇත.
  3. රාජ්‍ය සේවයේ බොහෝ දෙනෙකු නිවාස ඉදිකර ගැනීම, උසස් අධ්‍යාපන ඇතුළු පෞද්ගලික කටයුතු වෙනුවෙන් බැංකු ණය ලබා ගැනීම සාමාන්‍ය තත්ත්වයක් වූ අතර, පසුගිය කාලයේදී 8% - 9% පොළී අනුපාතයන්ට රාජ්‍ය සේවකයින්ට ණය ලබාදීමට රජයේ මැදිහත්වීම මත රාජ්‍ය බැංකු විසින් කටයුතු කරන ලද අතර, පසුගිය මාස කිහිපය තුල රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තීන් මත මහබැංකුව මගින් පොළී අනුපාතික ඉහළ නැංවීම මගින් බැංකු පොලී අනුපාතිකයන් 17% - 25% ක් දක්වා සීඝ්‍ර ලෙස ඉහළ නැංවීම මත අපගේ පඩිපත බැංකු ණයට හිලව් වන තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී රාජ්‍ය සේවකයා ණය උගුලක සිරවී ඇත.
  4. අඩු වැටුප්ලාභී රාජ්‍ය කාර්යාල සේවකයෝ බොහෝවිට බැකු ණයට පඩිපත කැප කර අතිකාල සේවයේ යෙදීමෙන් උපයාගත් මුදලින් දිවිය සරිකරගත් නමුත්, මේ වන විට රාජ්‍ය ආයතන තුල වියදම් අවම කිරීමේදී මුලින්ම සිදුකරන අතිකාල කප්පාදුව සමග බොහෝ රාජ්‍ය සේවකයෝ කබලෙන් ලිපට වැටී ඇත.
  5. රටේ ආර්ථිකය දැවැන්ත අර්බුදයකට ලක්වුවද, අමාත්‍ය මණ්ඩලය පුළුල්කර ඔවුන්ට අවශ්‍ය කාර්යමණ්ඩල ඇතුළු අනෙකුත් වරප්‍රසාද ලබාදෙමින් පවතී. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර ගණනකින් වැඩි කරගෙන ඇති අතර සාමාන්‍ය රාජ්‍ය සේවකයන් මෙම අර්ථික අර්බුදය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව ඇත. සමාන්‍ය රාජ්‍ය සේවකයා මෙන්ම ඔවුන්ගේ දරුපවුල් වල එදාවේල සරිකර ගැනීමට නොහැකි තත්ත්වයක් තුල පෝෂණ ඌණතාවයන්ට මුහුනදීමටද  ඔවුන්ට සිදුව ඇත.
  6. රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය ඖෂධ පවා නොමැති පසුබිමක ඖෂධ මිල ගණන් මෙන්ම පෞද්ගලික රෝගීන් පරීක්ෂාව, පරීක්ෂණ ගාස්තු හා ප්‍රතිකාර ගාස්තු ද ඉහළ හේතුවෙන් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම අතපසු කිරීමට සිදුවීම හේතුවෙන් අපගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව ඇත.
  7. මෙම තත්ත්වය තුල අපගේ සමාජිකයින්ගේ ජීවිත රැකගනිමින් සමාන්‍ය ලෙස රාජකාරී ඉටුකිරීම වෙනුවෙන් පහත සඳහන් මූලික ඉල්ලීම් ඹබ වෙත ඉදිරිපත් කරනු ලැබේ.
  • අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය ඇතුළු ජන ජීවිතයට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළ අඩුකිරීමට කටුතු කිරීම
  • දැනට ප්‍රවාහන දීමනා ලබන කේෂත්‍ර නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා ඉන්ධන මිල වැඩිකිරීමට සාපෙක්ෂව ඉහළ නැංවිම හා සේවයට වාර්තා කිරීමේ දී නිල රථ, ප්‍රවාහන දීමනා හා කාර්යාල කණ්ඩායම් ප්‍රවාහන පහසුකම් අහිමි රජයේ නිලධාරීන්ට ඔවුන්ගේ සේවයට වාර්තා කිරීමේ දුර අනුව සාධාරණ ප්‍රවාහන දීමනාවක් ලබාදීම.
  • රජයේ අවශ්‍යතාවය මත පදිංචියෙන් බැහැර සේවා ස්ථානවල සේවයේ යොදවා ඇති නිල නිවාස අහිමි තාවකාලික නවාතැන්වල නැවතී සේවය කරන නිලධාරීන් සඳහා නිල නිවාස කුලියක් ලබාදීම
  • ජීවන වියදම ඉහළ යෑම සැළකිල්ලට ගෙන සියළු රාජ්‍ය සේවකයින්ට ප්‍රමාණවත් ජීවන වියදම් දීමනාවක් ලබාදීම.
  • බංකු ණය මත අයකරන අසාධාරණ පොළී අනුපාතික අඩුකර සහනදායී පොළී අනුපාතික නියම කිරීම.

08. පවතින තත්ත්වයන්තුල අපගේ ජීවිත දැඩි අරබුදකාරී තත්ත්වයකට පත්ව ඇති අතර, ඉහත ඉල්ලීම් සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමුකර අඩු වැටුප් ලබන රාජ්‍ය සේවකයින්ගේ ජීවිත රැක ගැනීම සඳහා ඉහත ඉල්ලීම් කඩිනමින් ඉටුකරන ලෙසත්, එසේ නොවන්නේ නම් දැඩි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට එළඹීම හැර වෙනත් විකල්පයක් අප වෙත නොමැති බවත් අවධාරණය කරන්නෙමු.

සමස්ත ලංකා සංවර්ධන නිලධාරීන්ගේ සංගමය, ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය, රාජ්‍ය හා පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරීන්ගේ වෘත්තීය සමිති සම්මේලනය, රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය,  ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමය