පාසල් දරුවන්ට නොමිලේ ලැබෙන ජලයටත් ගාස්තු අය කරයි

පාසල් දරුවන්ට නොමිලේ ලැබෙන ජලයටත් ගාස්තු අය කරයි

පාසල්වල ජල සම්බන්ධතා විසන්ධි කිරීම පසෙක තබා මේ තත්වයට කඩිනම් විසඳුමක් ලබා දී පාසල් දරුවන්ට අවශ්‍ය ජලය ලබාදීමට ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන බලධාරීන් ද මැදිහත් විය යුතු බවත්, ඒ සඳහා  කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලීමක් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, ජාතික ජලසම්පාදන මණ්ඩලය මගින් පාසල්වලට සපයන ජලය සඳහා ගාස්තු අය නොකළ අතර, එම ගාස්තු ගෙවනු ලැබුවේ මහාභාණ්ඩාගාරය විසිනි. එහෙත් මේ වන විට බොහෝ පාසල්වලට ජලබිල්පත් ලබාදී ඇති අතර, 2022 ජනවාරි මස සිට හිඟමුදල් ද අය කිරීමට ජල සම්පාදන මණ්ඩලය මගින් කටයුතු යොදා ඇත.

සමහර පාසල් වෙත ජල සැපයුම අත්හිටුවීමට අදාළ අවසන් නිවේදන නිකුත් කර ඇති අතර, දින 14 ක් තුළ අදාළ ජල සැපයුම් අත්හිටුවන බවට ද, නීති මගින් කටයුතු කරන බවට ද දැනුම් දී ඇත.

පාසල්වල විදුහල්පතිවරු වෙත ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාලයන්හි වානිජ නිලධාරීන් විසින් ජල ගාස්තු අය කිරීම සම්බන්ධයෙන් ලිඛිත දැනුම් දීම් සිදුකර ඇති අතර, එම නිලධාරීන් විසින්ම ජල සැපයුම අත්හිටුවීමට අදාළ අවසන් නිවේදන ද නිකුත් කොට ඇත. අදාළ නිවේදනයන්හි සඳහන් වන්නේ රජයේ පාසල් සඳහා මේ වන විට ජල සම්බන්ධතා 1500 ක් ලබා දී ඇති අතර, ඒ සඳහා මසකට ජල ඝණ මීටර 470,000 ක් පමණ සපයනු ලබන බවයි. මේ සඳහා මිලියන 26 ක් පමණ වැය කෙරෙන අතර, සහන ගාස්තු යටතේ පාසල්වලින් ගෙවිය යුතු වන්නේ රුපියල් මිලියන 12 ක් පමණ මුදලක් බවයි. ජල සම්පාදන මණ්ඩලය මගින් වසරකට පාසල් වෙත ජලය සැපයීම සඳහා රුපියල් මිලියන 310 ක් පමණ වැය කරන බවත්, 2015 වසර දක්වා රජයේ පාසල් වෙත සපයන ජලය සඳහා මහා භාණ්ඩාගාරයෙන් වසරකට රුපියල් මිලියන 50 ක පමණ ප්‍රතිපාදන වෙන් වූ බවත් 2016 වසරේ සිට එම ප්‍රතිපාදන නොලැබෙන බවත් අදාළ ලිපියේ සඳහන් කර ඇත.

මේ තත්වය යටතේ පාසල්වල විදුහල්පතිවරු වෙත නිවේදන නිකුත් කරමින් පාසල්වලින් ජල ගාස්තු අය කිරීමට ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය මේ වන විට කටයුතු කරමින් සිටී. පාසල්වල ජල බිල සම්බන්ධයෙන් උද්ගතව ඇති තත්වය සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවන්හිදී අධ්‍යාපන ලේකම්වරයා, අධ්‍යාපන අමාත්‍යවරයා දැනුවත් කිරීමට ලංකා ගුරු සංගමය විසින් කටයුතු කළ අතර, පාසල්වලින් ජලගාස්තු අය නොකරන බවට ප්‍රකාශ විය. එහෙත් මේ වන විට අදාළ බිල්පත්, නිවේදන සහ ජල සැපයුම අත්හිටුවීමේ නිවේදන පාසල් වෙත යොමු කර ඇත. හොඳම දේ දරුවන්ට ලැබිය යුතු බව සියලු පාර්ශව පිළිගන්නා තත්වයක හොඳම දේ තබා අත්‍යවශ්‍ය පහසුකමක් වන බීමට අවශ්‍ය ජලයත් දරුවන්ට නොලැබෙන තත්වයක් මේ ඔස්සේ නිර්මාණය වී ඇත.

පාසල්වල ජල සම්බන්ධතා විසන්ධි කිරීම පසෙක තබා මේ තත්වයට කඩිනම් විසඳුමක් ලබා දී පාසල් දරුවන්ට අවශ්‍ය ජලය ලබාදීමට ආණ්ඩුව මෙන්ම අධ්‍යාපන බලධාරීන් ද මැදිහත් විය යුතු අතර, මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර පාසල්වලින් ජල ගාස්තු අය කිරීම නතර කිරීමට කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ලංකා ගුරු සංගමය අධ්‍යාපන ලේකම්වරයාගෙන් ඉල්ලා සිටී.