යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර පහක් මුළුල්ලේ හමස් පෙට්ටියේ

යෝජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය වසර පහක් මුළුල්ලේ හමස් පෙට්ටියේ

 

  •  ක්‍රියාත්මක නොකිරීම නිසා ඖෂධ නියාමනය සහ රෝගී ජීවිත අනතුරේ

විද්වත් මණ්ඩලයක් මගින් සකස් කරන ලද 2020- 2025 ජාතික ඖෂධ ප්‍රතිපත්තිය මේ දක්වා ක්‍රියාත්මක කිරීමට දේශපාලන අධිකාරීන් විසින් නිශ්චිත අනුමැතියක් ලබා නොදීම නිසා ඖෂධ නිෂ්පාදනය, බෙදා හැරීම, නියාමනය ඇතුළු රෝගී ජනතාවට ඖෂධ ලබාදීමෙ යාන්ත්‍රනය මුළුමනින්ම විවිධ දූෂණ වංචා සහ අක්‍රමිකතා වන්ගෙන් සමන්විත වන බව පෙනී ගොස් ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, මේ වන විටත් රටවල් රැසක භාවිතා කරන ඹෘෂධ වල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් ද ප්‍රශ්න පැන නැගී ඇති අතර ඊට අමතරව අපේ රටට නීත්‍යානුකූල නොවන මාර්ගයන්ගෙන් ඖෂධ ප්‍රවිශ්ඨ වීමට පවතින හැකියාව සම්බන්ධයෙන් ද අනතුරු අඟවා ඇත. ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීම නිසා බරපතල ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින අවස්ථාවකදී අවශ්‍ය ඹෘෂධ අවශ්‍යතා ප්‍රමුඛතා අනුපිළිවෙළක් මත ලබා ගැනීමත් , එම ඖෂධ කාර්යක්ෂමතාවයකින් යුක්තව  මහ ජනතාවට දරාගත හැකි මිලකට ලබා දීමේ ක්‍රියාවන් වලටද බාධා එල්ල වී ඇත.

මේ වන විට රට පුරා ඖෂධ හිඟයක් නිර්මාණය වී ඇති අතර විශේෂයෙන්ම ප්‍රතිජීවක ඖෂධ හිඟය ඉදිරි කාලයේ දී බරපතල රෝග ආසාදනයට ලක්වන රෝගීන් ගේ ජීවිතය දැඩි ලෙස අනතුරට හෙලීමට ද හේතුවක් වනු ඇත. මේ තත්වෙට කඩිනමින් විසඳුම් ලබාදීමට අසමත් වුවහොත් ඉදිරි කාලයේ දී රෝහල්ගත වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවකයන්ට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.

ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවීමත් ඖෂධ නියාමන අධිකාරිය නිසි කාර්යක්ෂමතාවකින් කටයුතු නොකිරීමත් නිසා තත්ත්වයෙන් බාල පවා ශ්‍රී ලංකාව තුළට පැමිණීමට වැඩි ඉඩක් පවතින අතර මේ වන විට ආන්දෝලන ලක්ව ඇති ගැම්බියාව සහ ඉන්දුනීසියාව රටවල් වලදී කුඩා දරුවන්ගේ ජීවිත 150 කට ආසන්න ප්‍රමාණයක් පිළිගත් ඉන්දියානු ඖෂධ සමාගමේ ඹෘෂධයන් මෙරටට පැමිණ ඇති බව හෝ පැමිණ නැති බව නිශ්චිතව පැවසීමට නොහැකි වීම ද කනගාටුවට කරුණකි. නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් වික්‍රමරත්න මහතා වෙබ්-අඩවියක් සමඟ පවසා තිබුණේ නිත්‍යානුකුල නොවන මාර්ග වලින් රටට එම ඖෂධ පැමිණ ඇත්දැයි තමාට නිශ්චිත වශයෙන්ම පැවසිය නොහැකි බවයි. මෙය ඉතා බරපතළ ප්‍රකාශයක් ලෙස අප විසින් සලකනු ලබන්නේ ඒ අන්දමට නීත්‍යානුකූල නොවන ක්‍රම වලින් රට තුළට ඖෂධ පැමිණෙන්නේ නම් ඒවා පාලනය කිරීමට නීතිමය පියවර ගැනීම බලධාරීන්ගේ වගකීමක් වන බැවිනි.

වරක් ලැන්සෙට් වෛද්‍ය සඟරාව හෙළි කර තිබුණේ තත්වයෙන් බාල ඇතැම් බටහිර ඖෂධ තුළ කෘෂි රසායන, වල් නාශක , පශු වෛද්‍ය කටයුතු සඳහා භාවිතා කරන රසායන කොටස් ඇතුළු මිනිසාගේ ශරීරයට හානිකර වන රසායන ද්‍රව්‍ය වලින් සමන්විත වීමට වැඩි සම්භාවිතාවක් පවතින අවස්ථා පවතින බවයි.

මේ අනුව ආර්ථික අර්බුදය අවස්ථාවේදී සාමාන්‍ය ජනතාවට දරාගත හැකි මිලකට ඖෂධ ලබා දීමත්,  එම ගෙන්වන ඖෂධ සාම්පල පරීක්ෂා කරන අවස්ථාවේ සිට ඔසුහල් වලට බෙදා හැරීමෙන් පසුව ද නිතර නිතර අහඹු ලෙස රසායනාගාර පරීක්ෂණවලට ලක් වීමද ඉතා වැදගත් බව ප්‍රකාශ කළ හැක.

මේ අනුව යොජිත ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ඉක්මනින්ම ක්‍රියාත්මක කිරීමත්, මුහුදු තීරය ආශ්‍රිතව පවතින ඔසු හල් හදිසි වැටලීම් හරහා තත්වයෙන් බාල නීත්‍යානුකුල නොවන ක්‍රම වලින් ගෙන්වන ලද ඖෂධ පවතී දැයි පරික්ෂා කිරීම ඇතුළු නියාමන යාන්ත්‍රණයක් ද ඖෂධ නියාමන අධිකාරිය රසායනාගාර සේවාවන් දියුණු කිරීම වහාම බලධාරීන් කටයුතු කල යුතු බව අප අවධාරණය කර සිටිමු.

මේ තත්ත්වයන් නොසලකා කටයුතු කිරීම අප විසින් දැන දැනම රෝගී ජීවිත  මරණ මංචකයේ වෙත කැඳවා ගෙන යාමක් ලෙස ද වැඩිදුරටත් පෙන්වා දෙමු කැමැත්තෙමු.