අග්‍රහාර මුදල්වලට විද්ද සහකාර කළමනාකාරිණිය මාට්ටු

අග්‍රහාර මුදල්වලට විද්ද සහකාර කළමනාකාරිණිය මාට්ටු

ව්‍යාජ ලේඛන ඉදිරිපත්කර ජාතික රක්ෂණභාර අරමුදල් මණ්ඩලයේ (අග්‍රහාර) රුපියල් පනස්හත් ලක්ෂ හතළිස් හය දහස් පන්සිය තිස්හතරක (5,746,534) මුදලක් වංචා සහගතව ලබා ගත් බව කියන එම මණ්ඩලයේ සේවයේ නිරත සහකාර කළමනාකාරවරියක කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

බණ්ඩාරගම රයිගම පදිංචිකාරියක වන මෙම සහකාර කළමනාකාරිණිය වයස අවුරුදු 33ක තැනැත්තියක බවත්, ඇය විසින් ව්‍යාජ ලේඛන සකස්කර මෙම මුදල් වංචාකර ඇත්තේ ඇගේ ඥාතීන් 05 දෙනෙකුගේ බැංකු ගිණුම්වලට මුදල් බැර කරමින් බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි වාර්තා වේ.

ඒ අතර ඇගේ මව, පියා, පුරුෂයාගේ සහෝදරයා, මවගේ නැගණිය සහ ඇගේ ස්වාමිපුරුෂයා සිටින බව වංචා විමර්ශන කාර්යාංශය විසින් කළ විමර්ශනවලින් හෙළිවී තිබේ.

මෙම වංචාව සිදුකර ඇත්තේ 2018 වසරේ සිට 2022 වසරේ මුල් කාර්තුව දක්වා අවස්ථා 13කදී මුදල් එම බැංකු ගිණුම්වලට බැර කරමින් බව අනාවරණය වී ඇත.

මෙම වංචාව අභ්‍යන්තර විගණනයකදී හෙළිවීමත් සමඟ ඒ ගැන කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිලිකර ඇත්තේ ජාතික රක්ෂණ භාර අරමුදල් මණ්ඩලයේ මානව සම්පත් සහ පරිපාලන කළමනාකරු විසිනි. ඒ පසුගිය සැප්තැම්බර් 28 වෙනිදාය.

ඒ් අනුව එම පැමිණිල්ලට අනුව විමර්ශනයක් පවත්වා මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී මෙම වංචාවට සම්බන්ධ වූ ඇගේ පවුලේ ඥාතීන් සම්බන්ධයෙන් ද පියවර ගැනීමට නියමිතය.