ආශාවරී ගැන කම්කරු දෙපාර්තමේන්තුව කට අරියි

ආශාවරී ගැන කම්කරු දෙපාර්තමේන්තුව කට අරියි

පොළොන්නරුව - මැදිරිගිරියේ ,ආශාවරී, නම් වූ සංගීත කණ්ඩායමක් ද්වේශ සහගත ලෙස තහනම් කළ බවට වන ප්‍රචාරයන් අසත්‍ය බව කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ  ළමා ශ්‍රමය සූරාකෑම මෙරටින් තුරන් කිරීමේ කාරයභාරය පැවරී ඇති රාජ්‍ය දෙපාර්තමේන්තුව වන්නේ කම්කරු දෙපාර්තමේන්තුව බවයි.

ස්ත්‍රීන්, තරුණයන් සහ ළමයින් සේවය යෙදවීමේ පනත ක්‍රියාත්මක කිරීම සිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්ය භාරයක් බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.

එහෙත් ඊට සංගීත කණ්ඩායම් තහනම් කිරීම හෝ දරුවන්ගේ කලා හා ප්‍රාසාංගික දක්ෂතා යටපත් කිරීමේ කිසිදු ක්‍රියාවලියක් අයත්වන්නේ නැති බව ඔහු අවධාරණය කරයි.

ළමයින්ගේ කලා හැකියාවන් ප්‍රගුණ කිරීම පාසල් සංදර්ශන වලදී රඟදැක්වීම මෙන්ම අනතුරුදායක නොවන පුහුණුවීම සිදු කිරීමට ළමයින් සේවයේ යෙදවීමේ පනත මගින් කිසිදු බාධාවක් ඇති නොකරන බව කම්කරු කොමසාරිස් ජනරාල් බී.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති සිය නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.