දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරනවා

දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කිරීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කරනවා

ගමනා ගමන මණ්ඩලය විනාශ කර ඇති ආකාරයටම, දුම්රිය සේවය විනාශ කිරීමට ඔබතුමාට හෝ ආණ්ඩුවට ඉඩ නොදෙන බවත්, ඔබතුමාගේ සිතැඟි පරිදි, දුම්රිය අධිකාරිය ප්‍රකාශයට පත් කළහොත්, එදිනට පසු දින සිට කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වෙත ලිපියක් යවමින් දැන්ම්දී ඇත.

එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වන්නේ, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කරන බව ඔබතුමා අවස්ථා කිහිපයකදීම මාධ්‍යට ප්‍රකාශ කර තිබුණ ද, ඔබතුමාගේ සහ ආණ්ඩුවේ, දුමරිය විනාශ කිරීමේ එම උත්සාහය පරාජය කරන බව තරයේ ප්‍රකාශ කර සිටිමු.

දුම්රිය අධිකාරියක් කිරීමේ පළමු අවස්ථාව මෙය නොවේ. 1993 දි රනිල් වික්‍රමසිංහ මහතාගේ එ.ජා.ප. ආණ්ඩුව දුම්රිය අධිකාරියක කිරීමට උත්සාහ කළ බවත්, 2003 දී දුම්රිය අධිකාරිය ස්ථාපිත කළ බවත්, දුම්රිය වෘත්තීය සමිති සහ සේවකයින් එකතුවී එම ආණ්ඩුව පරාජය කර දුම්රිය අධිකාරිය අහෝසි කොට, නැවත දුම්රිය දෙපාර්තමේන්තුව ස්ථාපිත කළ බවත් පෙන්වා දෙමු. එදා පරාජය කරනු ලැබුවේ ජනතාව විසින් පත්කර ගත් එ. ජා. ප. ආණ්ඩුව බවත්, මෙදා පරාජය කරනු ලබන්නේ ජනතා පරමාධිපත්‍ය බලයට පටහැනිව පවත්වා ගෙන යන ඔබගේ ආණ්ඩුව බවත් පෙන්වා දෙමු.

දුම්රිය අධිකාරිය පිහිටුවා, වරාය අධිකාරිය මෙන් ලාභ ලබන, මගී ජනතාවට වඩා හොඳ දුම්රිය සේවයක් ලබා දෙන බව ප්‍රකාශ කරන ඔබතුමා, දුම්රිය සේවකයින්ගේ සුභසාධනය වැඩි කරන බවත් ප්‍රකාශ කර ඇත. මගී ජනතාව සහ දුම්රිය සේවකයින් ඇන්දවීමට ඔබතුමා දරන ප්‍රයත්නය අප තරයේ හෙළා දකිමු. දුම්රිය දෙපාර්තමේන්තුව විනාශ කරනු ලැබුවේ දුම්රිය සේවකයින් හෝ මගී ජනාතාව නොවේ. සෑම ආණ්ඩුවකම ඇමති ධූර දරණ ඔබතුමාත්, එම ආණ්ඩුත් දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිහානියට එක එල්ලේම වගකිව යුතුය. එමෙන්ම දූෂිත, අකාර්යක්‍ෂම හා අවිධිමත් කළමනාකරණය හා දුම්රිය බලධාරීන්ද, එහි වගඋත්තරකරුවෝ වෙති. දුම්රිය දෙපාර්තමේන්තුව ඉටු කරනු ලබන්නේ සේවාවක් මිස ලාභ උපයන ව්‍යාපාර කටයුතු නොවේ. ඉන් රටට ලැබෙන්නේ ලාභ නොව ප්‍රතිලාභයි. විදුලිබල මණ්ඩලය, තෙල් සංස්ථාව ලාභ ඉපැයිය හැකි ව්‍යාපාර කටයුතු කරන ආයතන පවා ආණ්ඩු වල මැදිහත් වීමෙන් විනාශ මුඛයට පත්කර ඇති තත්වයක් තුල, එම ආයතන විකුණා දැමීමට සැලසුම් කරන අණපතන් වලට අත ඔසවන ඔබතුමා, දුම්රිය දෙපාර්තමේන්තුව අධිකාරියක් කළ පමණින් ලාභ ලබන්නේ කෙසේදැයි සංවාදයකට එන්නේනම් අගේ කොට සලකමු.

ප්‍රවාහන ක්ෂේත්‍රයම අර්බුදයට යවා, අර්බුදයේ ප්‍රකාශකයා වට පත් වී ඇති ඔබතුමා, දුම්රිය සේවය ගොඩනැගීමට කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් නොකිරීම කණගාටුවට කරුණකි. ගමනා ගමන මණ්ඩලය විනාශ කර ඇති ආකාරයටම, දුම්රිය සේවය විනාශ කිරීමට ඔබතුමාට හෝ ආණ්ඩුවට ඉඩ නොදෙන බව ප්‍රකාශ කරන අතර, ඔබතුමාගේ සිතැඟි පරිදි, දුම්රිය අධිකාරිය ප්‍රකාශයට පත් කළහොත්, එදිනට පසු දින සිට කිසිදු දැනුම් දීමකින් තොරව වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට සිදුවන බව පෙන්වා දෙමු. ආණ්ඩුව විසින් රටත් ජනතාවත් බරපතල පීඩාවකට පත් කර ඇති මොහොතක, වෘත්තීය ක්‍රියාමාර්ග වලට පිවිසීම සුදුසු නොවුනද, සියල්ල විනාශ කර, රට ම අගාධයකට ඇද දැමීමට ආණ්ඩුව කටයුතු කරන්නේනම්, අඳ, ගොළු, බිහිරි මිනිසුන් මෙන් නිහඩව සිටීමට වෘත්තීය සමිති ව්‍යාපාරයට නොහැකි බවද අවධාරණය කරමු.