වෛද්‍යවරුන්ට පමණක් නීතියේ හැඳි දෙකක් බෑ

වෛද්‍යවරුන්ට පමණක් නීතියේ හැඳි දෙකක් බෑ
වෛද්‍යවරුන්ට පමණක් වයස අවුරුදු 60න් විශ්‍රාම නොයැවීමට ගෙන ඇති තීරණය අසාධාරණ බවත්, එය සියලු  සෞඛ්‍ය වෘත්තිකයින්ට ලැබිය යුතු බවත්, සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසයි.
 
එම සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෘත්තිය සමිති අභියාචනාධිකරණයට යාමට සූදානම් බවයි.
 
 
විශ්‍රාම වයස දිගු කරගනිමින් විශාල කාලයක් සේවය යෙදීමට අවසර ලබා දිම සුපිරි වරප්‍රසාදයක් මිස සේවා අවශ්‍යතාවයක් නොවන බවත්, වෛද්‍ය නිලධාරීන් නොවන අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් රජයේ තීරණයට හිස නමමින් කටයුතු කරන ලද්දේ රටේ පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් සිදු කරනු ලබන කැපකිරීමක් වශයෙන් පමණක් බවත් හෙතෙම කියා සිටියි.
 
ඒසේ වුවද,  සෞඛ්‍ය සේවයේ එක් වෘත්තීයකට පමණක් වෙනස්කොට සැලකීම අසාධාරණයක් බවත්, ඊට සාධාරණය ඉල්ලා තමන්ද අභියාචනාධිකරණයට යාමට සූදානමින් සිටින බවත්, ඔහු අවධාරණය කළේය.
 
වෛද්‍ය වෘත්තිකයින් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය පරිපාලන  නිළධාරීන් විශාල ප්‍රමාණයක්ද මෙම සුපිරි වරප්‍රසාදය බුක්ති වීදීමට සූදානමින් සිටින අතර, ඒ හේතුව නිසා සෞඛ්‍ය සේවාවේ කාර්‍යක්ෂම බව වර්ධනය කර ගැනීමට ලැබුණු ස්වභාවක අවස්ථාවද අහිමි වී යන තත්වයක් උත්ගත වී ඇතැයි හෙතෙම පෙන්වාදෙයි.
 
මෙය කිසිසේත්ම සේවා අවශ්‍යතාවයක් නොවන බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ පිළිබදව නිවැරදි තොරතුරු හෙළිදරව් නොකරමින්, රට නොමග යවමින් සිටින බවත්, ඔහු කියා සිටියේ  පුංචි බොරැල්ල වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගම් ශ්‍රවණාගාරයේ පැවති මාධ්‍ය සාකච්චාවකදී ය.