60න් පැන්ෂන් යැවීම-වෛද්‍ය වෘත්තිකයින්ට අදාළව අතුරු තහනමක්

60න් පැන්ෂන් යැවීම-වෛද්‍ය වෘත්තිකයින්ට අදාළව අතුරු තහනමක්
අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව රාජ්‍ය සේවකයින් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැන්වීම සඳහා ගෙන ඇති තීරණය "විශේෂඥ වෛද්‍යවරු හා වෛද්‍යවරුන්" සම්බන්ධයෙන් පමණක් ජනවාරි මස 25 වනදා දක්වා ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය විසින්  අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
 
විශේෂඥ වෛද්‍යවරුන්  176 දෙනෙකු විසින් ගොනුකළ රිට් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල විනිසුරුවරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ ඇත.
 
මෙම පෙත්සම අද සලකා බැලූ අවස්ථාවේ දී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මූලික විරෝධතාවක් මතු කරමින් මෙය රාජ්‍ය සේවා කොමිසම විසින් ක්‍රියාත්මක කරන තීරණයක් බැවින් ඒ පිළිබඳ කරුණු සලකා බැලීමට අභියාචනාධිකරණයට අධිකරණ බලයක් නොමැති බව සඳහන් කළේය.
 
කෙසේ වෙතත් කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය පෙත්සම පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම ජනවාරි මස 24 වනදා දක්වා කල් දැමීමට තීන්දු කළ අතර  ජනවාරි මස 25 වනදා තෙක් බල පැවැත්වෙන පරිදි අදාළ අතුරු නියෝගය නිකුත් කරන ලදී.
 
පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් සඳහන් කර සිටින්නේ විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට ඉකුත් ඔක්තෝබර් මස 17 වනදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇති බවයි.
 
මෙය අත්තනෝමතික මෙන්ම අසාධාරණ තීන්දුවක් යැයි පෙන්වා දෙන පෙත්සම්කරුවන් විශේෂඥ වෛද්‍යවරුන්ට අවම වශයෙන් අවුරුදු 63 දක්වා සිය සේවය කිරීමට අවස්ථාව තිබිය යුතු බව අවධාරණය කරයි.
 
එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ එම අත්තනෝමතික තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියි.